Sunday

උපුලිත් කෙල්ලක් නිසා විකුම්ට ළංවෙලා

ඒ නිසා මට
ඔයා ගැන
දුක හිතුණා

චාරුණී හා විකුම් සිය පුතු සඳරූ සමඟ හම්බන්තොට වෙරළ ආසන්නයේ වූ නිවහනේ රැඳී සිටියදී සුනාමි රළ පහරට හසුවෙති. ඉන් දිවි ගලවා ගන්නේ දෙදෙනෙකි. ඒ විකුම් හා පුතු සඳරූය.

මියගිය චාරුණී ඒ මොහොතේ සිට ස්වකීය මරණයෙන් පසු සිදුවන දෑ පෙළගස්වයි. පුතු රෝහලේදී වෛද්‍යවරියක රැගෙන ගොස් හදා වඩා ගනිද්දී විකුම්, පුතු සොයා යයි. චාරුණී සියල්ල දකිමින් අවකාශයේ සැරිසරමින් සිටියදී මේ පුවත කියාපායි.


සඳ පහන් රැයක සිහිලැල් සුව විඳ ඒ අසිරිය සිත්පුරා විඳින්න හිත ඇරුණු මට ඒ සඳවත දෙස බලාගෙන, මගේ අතිනත ගත්, මට ආදරය කළ, මා හා රැඳුණු, මට පුතකු තිළිණ කළ මගේ ආදරණීය විකුම් පාද අසලක නැති බව සිතාගෙන උපුලි හා පෙමින් වෙළී උණුසුමට තව තවත් ළං වන දසුන දැක හද කම්පා වීම නොනැවතී සිදුවිය. ගැහැනියකගේ හිතක් ශරීරයෙන් ඉවත් වුවද වද වේදනා දරාගත නොහැකිව කෙතරම් ළතැවුලට පත්වේදැයි දැනෙන්නට වූයේ එලෙසය.

මම මොහොතක් වික්‍ෂිප්තව හිඳියද එය සැණකින් වෙනස් වූයේ කිසියම් ගුප්ත හැඟීමක්් මා එතැනින්

පළවා හරිනු දැනෙන්නට වූ නිසාය.
"ඇයි මට බලකර දනවන්නෙ? චාරුණි දැන් ඔයා ඔතැන හිටියා හොඳටෝම ඇති. ඔයා දැන් යන්න. ජීවිතේ හැටි ඔහොම තමයි. එයා වෙනස් වුණා. එයා අලුත් ජීවිතයකට එකතු වුණා. ඒ ජීවිතේ පටන් ගත්තා. ඔයා ඔහොම වැලපුණාට එයා දැන් සතුටින් පිරී ඉතිරි ගිය මුහුණින් උපුලී දිහා බලන හැටි, සුවය ලබන හැටි බලන්න. යන්න. ඔයා යන්න."
දෛවය විසින් තීරණය කරනු ලබන සෑම අවස්ථාවක්ම ඒ හැටියෙන්ම සිද්ධ වෙන්නට ඉඩහැර බලා සිටීම මහා නිවටකමක් යැයි සිතූ මම ඊට එරෙහිව උඩු ගං බලා පිහිනා ගිය කෙල්ලකැයි සිතමින් බොහෝ සැහැල්ලුවෙන් හිඳියෙමි. ඒ අතීතයේදීය. එහෙත් වර්තමානයේදීද ඒ පුරුද්ද පැනගෙනවිත් මට බලකරන්නට වූයේය. මට දැනුණු වෙනස එයම බව පසක් විය.

"නෑ චාරුණි ඔයා යන්න එපා. ඇයි ඔයා දෛවයට හැමදේම ඉඩ දෙන්නෙ? ඔයා වෙන කෙල්ලක් වගේ නොවෙයිනේ. හිත හයිය තිබුණු උත්තම ගණයේ කෙල්ලක්. ඉතින් උපුලිත් කෙල්ලක් නිසා එයා ආදරෙන් හිත පුරෝගෙන විකුම්ට ළං වීම ස්වාභාවිකයි. ඒකට නම් ඔයා වගේ කෙනෙක් සැලෙන්න හොඳ නෑ. ඒත් ඔයා ගැහැනියක් නිසා කවුරුත් කියනවා වගේ හිතට වහල් වෙලා සැලුණු හිතින් ළතැවෙන්න එපා. ඔයාව අත් ඇරපු විකුම්, පුතා වෙනුවෙන් වෙහෙසන අතරේ එක්තරා ලැගුම් හලකට ඇවිත් පිපාසෙට දිය බිඳක් හොයාගෙන වගෙයි. ඉතින් ඔයා එයාට ඒකට ඉඩ දීලා බලා ඉන්න, බලමු මොනවද වෙන්නෙ කියලා."

මොහොතක් එසේ සිතිවිලි අතර දිගාවූ මම සෙමෙන් සෙමෙන් විකුම් අද්දරට විත් රැඳුණෙමි. ඔහු උරමත හිස හොවා උන් උපුලී ආදරෙන් පිරුණු දෑසින් විකුම්ගේ උරතලය මත වැතිරී සුව ලබන්නීය.
"නෑ.... මම උඹව විනාශ කරනවා. මගේ විකුම් උඹ දැක්ක නිසයි. මේ විදියට වෙනස් වුණේ. උඹට බැහැ විකුම්ට ළං වෙන්න. මමයි එයාට ඔහොම ළං වෙලා ඉන්නෙ" යි සිතූ මම උපුලී වෙත වේගයෙන් පැන ඇය ඉවතට ඇද දමා ගෙල මිරිකා දමන්නට උත්සාහ කළෙමි.

උපුලී ඒ මොහොතේම ඔහු වෙතින් ඉවත්ව මා සිටි තැනට ආවාය. ඕ නෙතු කඳුළු පුරෝගෙන ඉකිබිඳිණු පෙනිණි.
"මම ඔයාට කොයි තරම් ආදරේද කියලා දන්නවා නම්. ඔයා කවදාවත් මාව දාලා යන්නෙ නෑ. මම අහන්නෙ නෑ ඔයැයි මට කොයි තරම් ආදරේද කියලා. ඒත් මම දන්නවා ඔයැයිගේ ඇස් දෙකේ ලියැවිච්ච දේ දැක්කාම මට ඔයැයි ආදරේ බව. එපා මාව දාලා යන්නට. හෙට උදේම ඔයැයි යන්නේ කොයිබටද? කියන්ට. මාත් එනවා. ඔයැයිත් එක්ක."
උපුලී ඉකිබිඳින්නේ විකුම් හෙට උදේම මෙතැනින් පිටවී යන බව කී නිසා විය යුතුය.

"මම කොහොමද මේ අසරණ කෙල්ලගේ මේ දුක් කඳුළු බල බලා බෙල්ල මිරිකන්නෙ? නෑ... මේ කඳුළු විකුම් රවට්ට ගත්ත ඒවා වෙන්ඩ ඕනෑ."
මම වේගයෙන් ඇය වෙත කඩා පැන ඇගේ කෙස් වැටියෙන් අල්ලා ගතිමි. දිගු වරලස සුළඟට විසිරී යන්නට විය. ඒ සමඟ හමා ආ සුළං පොද නිසා ඇය විසිවී වැටෙන්නට ගියේය. විදුලි කොටන්නටත්, අකුණු සර විහිදෙන්නටත් පටන් ගත්තේය. වැහි පොද බිඳ බිඳ ඇද හැලෙද්දි විකුම් ඇයගේ අතින් අල්ලාගෙන පැල්පත වෙත දිව යන්නට වූයේය.
අහස් දිය කඩා වැටී මහා විනාශයක් වේ නම් හොඳය කියා සිත කියන තරමට මට ඒ දසුන බලා ඉන්නට බැරි තරම් විය. උපුලී සීතලේ ගැහි ගැහී පැල්පතට ඇතුළු වූවාය. විකුම් කෙළින්ම පියමැන්නේ ඇතුල් කාමරයටය.

බොහෝ රෑ බෝවීත් වැස්ස තුරල් වන ලකුණු පහළ වූයේ නැත. තද සීතලත් වැහි අඳුරත් අතර පැල්පතේ භූමිතෙල් පහන් එළිය අවසන් දැල්වීමට සැරැසුණු සෙයකි. බත් අම්මා ගොරොද්දෙ අදිමින් පැල්පතේ මැද ‍ෙදාර ළඟ පන් පැදුරේ වැතිරී නිදන්නීය. මම මොහොතක් අෑ දෙස බලා උන්නෙමි.
"උපුලීට පෙළවහක් කරදෙන්න වත්කමක් නැති නිසා ඒකීට ඕනෑ එකක් කරගන්න ඉඩ දුන්නත් බත් අම්මේ මනුස්සයෙක් ඔහේ ආවට ගියාට හොයා ගන්න ඉඩ දෙන්න හොඳ නැති බව උඹට තේරෙන්නෙ නෑ. උඹ උඹේ කෙල්ලව බිල්ලට දෙන්නයි හදන්නේ."
මට එසේ සිතුණත් කරන්නට දෙයක් තිබුණේ නැත. මා නරඹන්නියක පමණි.

භූමිතෙල් ලාම්පුවේ අවසන් එළිය නටමින් තිබිණි. උපුලී විකුම්ගේ නිදි වැරුම නවතා ඔහු අසලට ආවේ සීතල දෑත් ගුළිකර ගෙනය.
"ඔයැයිට නින්දක් නෑ නෙවෙද?" ඒ උපුලීගේ කෙඳිරිල්ලය.
"මං කොහොමද නිදා ගන්නෙ?" ඒ විකුම්ය.
"ඇයි.? ඒ ඇයි?"

"ඔයා හෙට යන්න එපා කියලා දුක්වෙවී උන්නා. ඇඬුවා. ඒ නිසා මට ඔයා ගැන දුක හිතුණා."
"මම ගැන?"
"හ්ම්."
"මම ගැන හිතනවා නම් හො¼දා. ඒත් ඔයැයි මම දාලා යාවි කියලා හිත කීවා."
"නෑ. මම යන්නෙ නෑ."

"නෑ."
"හ්ම්."
"එහෙම නම් ඔයා මාත් එක්ක මෙහෙම ඉන්නවැයි."
"හ්ම්."
උපුලී හිනැහුණාය. ඕ ගත පොරවාගෙන හුන් රෙදි කඩ මුදා හැර ඔහු වෙත අවුත් ඔහු උරතලය මත හිස හොවා ගත්තාය. විකුම් ඇය සිප ඔහු ළඟට ගත්තේ සතුටින් පිරීගත් මන්මත් වූ දෑසිනි. මම මහත් අසරණව එතැනින් ඉවත් වීමි. හිස් අවකාශයේ අෑතින් අෑතට ඇදී ගියෙමි. මට ඒ වේදනාව දරාගන්නට බැරි තරම් විය.