Friday

සතුට ලබා ගැනීමේ නියම පිළිවෙළ

අබු සැමි සතුටට
බලපාන මානසික 
ගැටලු ගැන 
ඔබත් දැනුවත්ද?

නිරෝගී පවුල් ජීවිතයකට ලිංගිකත්වයට ඉතා වැදගත් ස්‌ථානයක්‌ හිමිවේ. අප ශරීරයේ අනෙකුත් අවයව හා කොටස්‌වලට මෙන්ම ලිංගික පද්ධතියටද ගැටලු ඇතිවිය හැක. මෙය අද සමාජයේ බහුලව දක්‌නට ඇති වෛද්‍ය ගැටලුවකි. මේ සම්බන්ධව අනෙකුත් රෝගී අවස්‌ථාවලදී මෙන්ම විවෘතව කථා නොකිරීම නිසා ප්‍රශ්න දුර දිග ගිය අවස්‌ථාද එමට ඇත.

බොහෝ විට ලිංගිකත්වය පිළිබඳ ගැටලු දකින්නේ එම ගැටලුව අයුරින් නොවේ. අප සමාජයේ එය වෙනත් සංකීර්ණ ගැටලු ලෙසට ඉස්‌මතු විය හැක.


අඹුසැමියන් අතර දික්‌කසාද වීම සියයට 80 - 90 ක්‌ම අවස්‌ථාවන්හි මූලික හේතුව ලිංගිකත්වය පිළිබඳ ගැටලු දුර දිග යැමයි.

මෙහි මූලික රෝග ලක්‌ෂණ වනුයේ අඹු සැමි යුවළ අතර නුරුස්‌නාගතියක්‌ ඇතිවීමයි. ඉන්පසු රණ්‌ඩු සරුවල් වලින් පටන්ගෙන උච්ච අවස්‌ථාවට පත්වී ගුටි බැට හුවමාරුවකටද බොහෝ විට ඉඩකඩ ඇත. පුරුෂයා මත්පැන්වලට ඇබ්බැහි වීමද මෙම ලිංගික ගැටලුව නිසා හේතු විය හැකිය. කාන්තාවද වැරදි මාර්ගවලට යොමුවීම, පිරිමියාද අයථා සම්බන්ධතාවලට පැටලීමද මේ නිසා සිදුවිය හැකිය.

මෙම තත්ත්වයන් නිසා මානසික ආතතිය, මානසික අවපීඩනය වැනි රෝග ඇති විය හැකිය. ජීවිතය එපාවී සිය දිවි නසා ගැනීම් පවා සිදුකරගත් අවස්‌ථාද ඇත. එවැනි අවස්‌ථාවලට පත් නොවී සිටියත් ජීවිතයේ කිසිම සතුටක්‌ නැතිව අන් අය පවා නුරුස්‌සනා හැසීරීමක්‌ ඇති අය ලෙස අපට සමාජයේදී දැක ගත හැකිය. තම රැකියාව පවා හරිහැටි කිරීමට නොහැකිව සමාජයට මුහුණදීමට නොහැකිවීමට ද ලිංගික ගැටලු මුල්විය හැකිය.

ශරීරයේ ඇතිවන අනෙකුත් රෝගී අවස්‌ථා මෙන්ම ලිංගික ගැටලුද ශාරීරික හේතු (physical causes) නිසාද ඇතිවිය හැකිය. ඊට අමතරව තමාගේ සහකරු හෝ සහකාරියගේ විවිධ සෞඛ්‍ය හේතූන් නිසා ඇතිවේ. ඉන් පැහැදිලි වනුයේ අනෙකුත් ශාරීරික සෞඛ්‍ය ගැටලු වලට වැඩියෙන් ලිංගික ගැටලු සංකීර්ණ බවයි. මෙහි ගැටලුව තමාගේ සහකාරිය හෝ සහකරු වීමට ද ඉඩ ඇත. ගැහැනු පිරිමි දෙපක්‌ෂයෙන් එක්‌ අයෙකුගේ හැසිරීම අනෙකාට ප්‍රශ්නයක්‌ වීමට ද ඉඩ ඇත. දෙදෙනා එකතුවී කරන ක්‍රියාවලියක්‌ නිසා ඉහත දැක්‌වූ අවස්‌ථා උදාවනු ඇත.

යහපත් ලිංගික දිවියකට නිවැරැදි මානසිකත්වය ඉතාම වැදගත්ය.

වැරදි විශ්වාසයක තදින් එළැඹී සිටින පුද්ගලයෙකුට ලිංගිකත්වය සම්බන්ධ විශාල ගැටලු ඇතිවිය හැක. ඊට අපි එක්‌ නිදසුනක්‌ බලමු. ජීවිතයේ මුල් කාලයේදී ස්‌වයං වින්දනය නිසා පසු කාලයේදී ලිංගික අප්‍රාණිකත්වය ඇතිවිය හැකි බවට විශ්වාස කරන පුද්ගලයන් තවමත් අප සමාජයේ සිටිති. මේ පිළිබඳව දැඩි ආතතියකින් පසුවන තරුණයකුට ඇත්තටම ප්‍රාණවත්වීමේ ගැටලුව ඇතිවිය හැකිය. නිවැරැදි පිරිමි ලිංගික අවයව වන ශිෂ්ණයේ ප්‍රමාණය නොදැනුවත්කම නිසා තම ශිෂ්ණය කුඩා යයි සිතේ බරක්‌ තබාගෙන සිටින අය ද සිටිති.

එයින් මානික ආතතියක්‌ හටගෙන ඒ නිසා ගැටලු ඇතිවිය හැකිය. එසේම ලිංගික ක්‍රියාවලියේ එකතුවීමේ කාලසීම කෙපමණදැයි නොදැනුවත්කම නිසාද ගැටලු ඇතිකර ගනී. වෛද්‍ය පරීක්‍ෂණවලදී පෙන්වා දී ඇති සාමාන්‍ය (එකතුවීමේ) කාලය විනාඩි 5 - 6 කාලයකි. මෙය හරිහැටි නොදැනුවත්කමින් ගැටලු ඇතිකර ගන්නා අවස්‌ථාද ඇත. මෙම ලිපි පෙළේදී මේ පිළිබඳ නිවැරැදි විද්‍යාත්මක දැනුම ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.

ක්‍ෂණික මෝචනය

(Premature Ejaculation)

පිරිමින්ගේ ධාතු පිටවීමේ ගැටලුව අද සමාජයේ බහුලව ඇත. ක්‍ෂණික මෝචදනය නමින් (Premature Ejaculation) නම් ඉක්‌මනින් ධාතු පිටවීමේ රෝගී අවස්‌ථාව වැඩි වශයෙන් ඇත. මෙය යම් අවස්‌ථාවකදී සිදුවීම සාමාන්‍ය තත්ත්වයකි. නමුත් දිගින් දිගටම ඉක්‌මනින් (විනාඩියකට අඩු කාලයකදී) සිදුවන විටදී ක්‍රියාවලිය පාලනය කිරීමට නොහැකි වුවහොත් එය මානසික අසහනයක්‌ බවට පත්වීමට ඉඩ ඇත. එවිට එය රෝගී අවස්‌ථාවක්‌ වනු ඇත.

ඉහත කාලය විනාඩියක්‌ නොව තත්පර 10 ක්‌ වුවද දෙදෙනාගේ මානසික තෘප්තිය නොඅඩුව ලබා ගත්තේ නම් එය ගැටලුවක්‌ නොවේ. මෙය රෝගී අවස්‌ථාවක්‌ වනුයේ ධාතු පිටවීමේ කාලය විනාඩියට අඩුවීම ක්‍රියාවලිය පාලනය කිරීමට නොහැකිවීම දෙදෙනා හෝ එක්‌ අයෙක්‌ හෝ නියම තෘප්තිය ලබා නොගැනීම නිසා මානසික ආතතියක්‌ ඇතිවූ විටදීය.

ඉහත දැක්‌වූයේ ක්‍ෂණික මෝචනය පිළිබඳ පුළුල් අර්ථ දැක්‌වීමකි. ක්‍ෂණික මෝචනය විවිධ ප්‍රභේද ඇත. ඉදිරි ලිපිවලදී ඒවා ඇතිවීම, ඒවාට හේතුවන කරුණු සහ එයින් වැළකී සිටීමට කළයුතු දේ පිළිබඳව ද වෛද්‍ය උපදෙස්‌ ගැනීම අවස්‌ථාද පැහැදිලි කෙරෙනු ඇත.

ලිංගික බෙලහීනතාවය

(Erectile Dystunction)

නිරෝගී සෑම පුරුෂයෙකු තුළ ලිංගික උත්තේජනය සමඟ ලිඟුවේ ප්‍රාණවත් බව ඇතිවීම ස්‌වභාවික සිදුවීමකි. ශාරීරික මානසික සහ යුවළ සබඳතා ගැටලු නිසා සහකරු හෝ සහකාරිය විවිධ තත්ත්වයන් නිසා ප්‍රාණවත්වීමේ ගැටලු ඇතිවිය හැක. ලිංගිකව එකතුවීමට ප්‍රාණවත්කමක්‌ නොමැති නම් හෝ ඒ ක්‍රියාවලිය සම්පූර්ණ වන තෙක්‌ ප්‍රාණවත් බව රඳවා ගැනීමට අපොහොසත්වීම ප්‍රාණවත්වීමේ ගැටලුවක්‌ ලෙස හැඳින්වේ. මෙයට නෂ්ඨ කාමය හෙවත් ලිංගික බෙලහීනතාවය ((ED) වශයෙන් ද හැඳින්වේ.

මෙවැනි තත්ත්වයකට හේතුවිය හැකි ශාරීරික තත්ත්ව ලෙස දියවැඩියා රෝගය හඳුන්වා දිය හැක. එලෙසම අධික රුධිර පීඩනය, රුධිරයේ කොලස්‌ටරෝල් මට්‌ටම වැඩිවීම, දුම්පානය, අධික ලෙස මත්පැන් පානය, ශරීරයේ හෝමෝනවල ගැටලු, සමහර බෙහෙත් වර්ග සහ ශිෂ්ණයේ ඇතිවන සමහර වෙනස්‌කම් ද ප්‍රධාන සාධකයන්ය.

ලිංගික ප්‍රාණවත්වීමට බලපාන අනෙක්‌ ප්‍රධාන කරුණක්‌ ලෙසට මානසික හේතූන්ද පෙන්වා දිය හැක. මෙම ගැටලු නිරාකරණය විශේෂයෙන් මානසික අවපීඩනය ඇති අයෙකුට ලිංගික ප්‍රාණවත්වීම බලපෑම් ඇති කරයි. නිවැරැදි උපදෙස්‌ සහ මගපෙන්වීම තුළින් මෙවැනි තත්ත්වයන් පහසුවෙන් නිවැරැදි කර ගත හැකිය.

ලිංගික ආශාව අඩුවීම

(Low Sexdrive)

ලිංගික සබඳතා කෙරෙහි පවතින ඇල්ම හෙවත් ආශාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ය. මෙහිදී ගැටලු ඇතිවනුයේ දෙදෙනා අතර වෙනසකදීය. ආශාව ගත්විටදීද ලොකු පරාසයක්‌ ඇත. ලිංකික ආශාව වැඩි පුරුෂයෙක්‌ සමඟ ආශාව අඩු ස්‌ත්‍රියක්‌ විවාහ වූ විට ඒ දෙදනා අතර ගැටලු ඇතිවිය හැකිය. සමහර රෝගී තත්ත්වයන් නිසාද මේ ආශාවන් අඩුවැඩි වේ.

මෙය දෙපක්‌ෂයටම පොදු ලක්‍ෂණයකි. අද සමාජයේ බහුලව දකින ලිංගික ආශාවේ ගැටලු මානසික හේතු නිසා ඇතිවන තත්ත්වයන්ය. මානසික රෝගවලට ප්‍රතිකාර ලෙස ගනු ලබන සමහර බෙහෙත් වර්ග නිසාද මෙහිදී ලිංගික ආශාව මෙන්ම ප්‍රාණවත්වීමටද බලපෑමක්‌ ඇතිවේ.

කාන්තා ගැටලු

කාන්තාවන්ටද ඇතිවන ලිංගික ගැටලු පිළිබඳව සලකා බැලූවිටද ලිංගික ආශාව පිළිබඳ ගැටලු ප්‍රධාන තැනක්‌ ගනී.

ලිංගික ක්‍රියාවලියේදී ඇතිවන වේදනාකාරී බව දෙවන ගැටලුව ලෙස දැක්‌විය හැකිය. කාන්තාවන්ට ලිංගික සතුට නොලැබීමද තවත් අවස්‌ථාවකි. පොදු කරුණක්‌ ලෙස විමසීමේදී ලිංගික ආශාව අඩුවීම ගැටලුව කාන්තාවනට වැඩියෙන් ඇති බව කිව යුතුය. මෙයට ශාරීරික හේතුන් බොහොමයක්‌ බලපෑමට ඉඩ තිබේ. මානසික තත්ත්වයන්ද තදින්ම බලපානු ඇත.

ශාරීරිකව හෝමෝනවල වෙනස්‌කම් ප්‍රමුඛ ස්‌ථානයක්‌ ගනී. ඊට අමතරව සමහර රෝගී තත්ත්වයන් ලෙස දියවැඩියාව, ස්‌ථුලභාවය (තරබාරු ගතිය) සහ තෛරොයිඩ් හෝමෝනයේ වෙනස්‌කම්, මොළයේ ශ්‍රාවය වන වෙනත් හෝමෝනවල බලපෑම්ද පෙන්වා දිය හැකිය. මීට අමතරව මානසික රෝගවලට ගන්නා බෙහෙත් වර්ග නිසාද ආශාවේ ගැටලු ඇතිවේ.

ලිංගික වේදනාකාරී තත්ත්වය පිළිබඳව විමසීමේදී කරුණු දෙකක්‌ පෙන්වා දිය හැකිය. නව යුවළක්‌ පළමුවෙන් එකතුවීමේදී ඇතිවන බිය නිසා ඇතිවන වේදනාකාරී බව එක්‌ ප්‍රභේදයකි. මෙය ශ්‍රී ලංකාවේ ඉතාම බහුල අවස්‌ථාවකි. විවාහ වී අවුරුදු ගණනක්‌ කල්ගත වූවාට පසුවද වෛද්‍යවරුන් හමුවීමට පැමිණෙන අවස්‌ථා ඇත.

පහසුවෙන් නිවැරැදි කළ හැකි මෙවැනි තත්ත්වයන් තුළින් පවුල් ජීවිතය විනාශ කර ගැනීම අපරාධයකි. ලිංගික එකතුවීමේදී ඇතිවන වේදනාකාරී බවට හේතු කිහිපයකි. සමහර ශල්‍යකර්මලින් පසුවද මෙය ඇතිවිය හැකිය. හෝමෝනවල වෙනස්‌කම් නිසා ද මෙය සිදුවේ. යෝනි මාර්ගයේ වෙනස්‌කම්ද සමහර අවස්‌ථාවලදී මෙයට බලපානු ඇත. ප්‍රජනන පද්ධතිය හා සම්බන්ධ ඇතිවන ආසාධන තත්ත්වයන් නිසාද වේදනාකාරී තත්ත්වයක්‌ ඇතිවිය හැකිය.

කාන්තාවන්ට බහුලව ඇතිවන තවත් ප්‍රධාන ලිංගික ගැටලුවක්‌ ලෙස ලිංකිකත්වයේ සතුට නිසි අයුරින් නොලැබීම හැඳින්විය හැකිය. ලිංගිකත්වය පිළිබඳ දැනුම අඩුකම, සතුට ලබා ගැනීමේ නියම පිළිවෙළ නොදැනුවත්කම නිසාද කාන්තාවන් මෙම තත්ත්වයට පත්වේ. මානසික ගැටලුද තවත් බලපාන අවස්‌ථාවකි. කාන්තාවනට ලිංගික සතුට ලබා ගැනීමේදී පිරිමියා සමඟ ඇති සබැඳියාව ඉතාම වැදගත්ය. නිසි අයුරින් එකතුවීමේ ක්‍රියාවලිය හරියාකාරව නොවන විටදී එය පවුල් ජීවිතයකට තදින්ම බලපානු ඇත.

ලිංගික ගැටලු පිළිබඳ විශේෂඥ වෛද්‍ය
ලසන්ත මලවිගේ