Sunday

periods වලට කලින් ලෙඩ වෙන්නේ ඇයි?

රෝග තත්වයෙන්
පෙළෙන්නන්
හඳුනාගන්නේ කෙසේද?

කාන්තාවන්ටම විශේෂිත වුණ විවිධ රෝග තිබෙනවා. ඇය මෙලෙස රෝගවලට ගොදුරු වන්න හේතුවෙලා තිබෙන්නේ චර්යා රටාවල තිබෙන අසමතුලිත තාවය. ඉතින් මේ අසමතුලිත තාවයන් සමතුලිත කර ගනිමින් නිරෝගි දිවි පෙවතක් ගත කිරීමට පාර කියා දෙන්න මිරර් ගර්ල් සූදානම්. 

අද සිට ඒ සඳහා අපිත් සමග ඔබගේ සෞඛ්‍ය ගැටළු කතා කරන්න නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය කනිෂ්ක සමරනායක මහතා එකතු වනවා.


1. පූර්ව ආර්ථව ව්‍යාකූලත්වය යනු කුමක්ද ?  Pre menstrual syndrome (PMS)

පූර්ව ආර්ථව ව්‍යාකූලත්වය කියල කියන්නෙ මානසික හා කායික රෝගලක්ෂණ සමූහයක් ඔබගේ ආර්ථවයට සති දෙකකට පෙර ඇතිවීමයි. මෙම රෝග ලක්ෂණ ඔබගේ ආර්ථවය ආරම්භ උනාට පසුව යහපත් අතට හැරීමක් වගේම ආර්ථවයත් සමඟ සම්පූර්ණයෙන්ම නොදැනී යාමත් සිද්දවෙනවා.


බොහෝ විට සෑම කාන්තාවකටම  අඩු වැඩි වශයෙන් මෙම තත්ත්වය සිදුවිය හැකි නමුත් රෝග ලක්ෂණ එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඒ අතරින්නිතර දකින්න ලැබෙන  රෝග ලක්ෂණ  වන්නේ.

* විශාදිය දැනීම, කේන්තියාම
*මානසික ආතතිය දැනීම.
*වෙහෙසකාරී බව හා සුවදායක නින්දක් නොලැබීම.
*ආහාර රුචියේ වෙනස්කම් ඇතිවීම.
*අවධානය අඩුවීම (මේ නිසා හදිසි අන්තුරු සිදුවීම.)
*ඇඟ පිපීම.
*සමෙහි හා හිසකෙස් වල වෙනසක් ඇති වීම.
*පියයුරු වල වේදනාවක් ඇතිවීම.

මේ රෝග ලක්ෂණ  සියල්ලම  එකවිට ඇතිවීමේ  හැකියාවක් නැතත් ඉන් කිහිපයක් සිදුවිය හැක. සමහර අවස්ථා  වලදී එකම රෝග ලක්ෂණය  මාසිකව ඇතිනොවී  කලාතුරකින් වෙනත් රෝග ලක්ෂණ මතු වෙන්නත් පුළුවන්.

 කාන්තාවන්  5% ක 10% ක අතර ප්‍රමාණයකට ඉහත රෝග ලක්ෂණ මතුවීම නිසා දෛනික ජීවිතයේ කටයුතු  අඩාල වීමේ හැකියාව තියනවා. සුළු පිරිසකට වඩාත්  ප්‍රබල ලෙස  මෙම රෝග ලක්ෂණ ඇති විය හැකියි. එම තත්වය තමයි pre menstrual dysphoric disorder  (P.M.D.D) ලෙස බටහිර වෛද්‍ය විද්‍යාව හඳුන්වන්නේ.

2. මෙම රෝග ලක්ෂණයන්ට හේතුව කුමක්ද?

එකට නිශ්චිත හේතුවක් හඳුනාගෙන  නොමැති  උනත්  කාරණා කිහිපයක එකතුවක් විය හැකිය.

 * ඇඟේ හෝමෝන තුලනය වෙනස් වීම

*කාන්තා ශරීරයේ ක්‍රියාකාරිත්වය බොහෝවිට  ඉස්ට්‍රජන් (Estrogen) හා ප්‍රොජෙස්ට්‍රොන් (Progesterone) හෝමෝනයන් හී තුලනය මත රඳා  පවතිනවා. ආර්ථව චක්‍රය තුලදී හෝමෝනයගේ ක්‍රියාකාරිත්වය  හා ප්‍රමාණයන් වෙනස්  වීමක් සිද්ධ වෙනවා. පූර්ව ආර්ථව වයාකූලත්වය මෙම වෙනස් වීමේ ප්‍රතිපලයක්  විය හැකිය.  ඒ  වගේම උපත්පාලන පෙති භාවිතා කරන කාන්තාවන්ට ඉහත රෝග ලක්ෂනයන් අඩුවෙන් තමයි දකින්න ලැබෙන්නේ.

බර සහ ව්‍යායාම

ශරීර ස්කන්ධ දර්ශකය 30 ට වැඩි  සහ අඩුවෙන් ව්‍යායාමයේ යෙදෙන කාන්තාවන්ට  මෙම රෝගය  ඇතිවීමේ වැඩි හැකියාවක් තියනවා.  ලුණු අධිකව  ආහාරගැනීම වගේම කෝපි වැනි  පානයන් මගිනුත් මෙම තත්ත්ව ඇතිවීමේ අවධානමක්  තියනවා.

 ආතතිය

 ඒ වගේම ඉහත රෝග තත්ත්වයේ  පසුවන  කාන්තාවන්ගේ  එම තත්ත්වය ආතතිය සමඟ වඩා වඩා වැඩි විය හැකිය.

3. මෙම රෝග තත්වයෙන් පෙළෙන්නන් හඳුනාගන්නේ කෙසේද?

මේ සඳහා විශේෂිත  පරීක්ෂණයක් නොමැත. නමුත් ඔබට මාසිකව මෙම රෝග ලක්ෂණ ඇති වෙනවානම් වගේම  රොග ලක්ෂණ හඳුනාගැනීමේ හැකියාවක් තියෙනවනම් ඔබගේ වෛද්‍යවරයා හමුවීම වඩා හොඳයි. බොහෝවිට ඔබට රෝග ලක්ෂණ ගැන සටහනක් තබා ගැනීමට උපදෙස් දේවි. මෙය එක දිගට මාසදෙකක්වත් කළ යුතුයි. එම සටහනින් ඔබගේ රෝග නිශ්චය පහසු වනු ඇත.

4. පූර්ව ආර්ථව ව්‍යාකූලත්වයට ප්‍රතිකාර මොනවාද?

මෙම රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාරය විවිධ ප්‍රතිකාර විදි කිහිපයක එකතුවක්.
ඔබට වඩාත් ගැලපෙන ප්‍රතිකාර  ක්‍රමය තෝරා ගත හැක.  ඒ වගේම එම ප්‍රතිකාර සමග රෝග ලක්ෂණ සටහන තව මාස 2-3 ක් ඉදිරියට පවත්වාගෙන යාමත් ඉතා වැදගත්.

* ඔබගේ ජීවන රටාව වෙනස් කිරීම. (මෙය පියවර කිහිපයකින් කළ හැකිය.)

ව්‍යායාමයන් වල යෙදිම

සෞඛ්‍ය සම්පන්න සමතුලිත ආහාර වේලක් ලබා ගැනීම.( මධ්‍යසාර, ලුණු , සීනි හා කෝපි වැනි බීම අවම කිරීම, එළවළු , පළතුරු , මේදය අඩු මස් හා මාළුආහාරයට ගැනීම
ආතතිය අවම කර ගැනීම (ඔබට විශ්වාස අයෙකු සමග කතා කිරීම)
ඉහත ක්‍රමයන් අනුගමනය කිරීමෙන් ඔබගේ රෝග තත්ත්වය හොඳ නොවේ නම් වෙනත් ප්‍රතිකාර ක්‍රම වලට යොමු වන්න සිදු වෙනවා.

මානසික හා චර්යා ප්‍රතිකාර

ආතතිය අඩුකර ගැනීම සදහා ජීවන රටාවේ වෙනස් කම් ඇති කර ගත හැකිය. එමගින් ඔබගේ රෝග ලක්ෂණ පාලනය කිරීමට වගේම ජීවන තත්ත්වය නගාසිටුවීමටත් හැකියාව ලැබෙනව.
ඖෂධ ප්‍රතිකාර

හෝමෝන ක්‍රියාකාරීත්වය පාලනය.

ඉහත රෝග තත්වයන්ට බොහෝ විට හෝමෝන ක්‍රියාකාරීත්වය බලපාන නිසා ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් කිරීමෙන් මෙම තත්වය පාලනයකිරීමට පුළුවන්. මෙම හෝමෝන වර්ග පෙති, හමට අලවන ප්ලාස්ටර් , එන්නත් කිරීම්, නාසයට උරන බෙහෙත් වශයෙන් ලබා ගත හැක.

 Antidepressants (ප්‍රති විශාධිත ඖෂධ)

මෙම ඖෂධ වර්ගය බොහෝ විට භාවිතා වෙන ප්‍රතිකාර ක්‍රමයක් . කලාතුරකින් මෙමගින් ඔක්කාරය, වමනය, නින්ද නොයෑම ඇති විය හැක. වඩාත් වැදගත්වන්නේ මෙම ප්‍රතිකාරය එක්වර වෛද්‍ය  අවවාද වලින් තොරව නොනැවත්වීමයි

ශල්‍ය  ප්‍රතිකාර

බොහෝ විට ඉහත ප්‍රතිකාර ක්‍රමයන් මගින් සුව නොවන  හා රෝග ලක්ෂණ දැඩි ලෙස ජීවන රටාවට බලපාන අවස්ථාවලදී රෝගියාගේ ගර්භාශය හා ඩිම්බකෝෂ ඉවත් කිරීම සිදු කරනු ලැබේ.

වෙනත් ප්‍රතිකාර

ඉහත ප්‍රතිකාර විධි ගැනිමට නොහැකි හෝ අකමැති රෝගීන් හට වෙනත් ප්‍රතිකාර අත්හදා බැලිය හැක. මෙම ප්‍රතිකාර විධි නිශ්චිත සුව විමක් නොදැකිය හැකි වන්නා සේම දැඩි හානිකර බවක් නොදක්වයි. මෙම ප්‍රතිකාර වලට කැල්සියම් විටමින් ඩී මැග්නිසියම් හා සමහර විට විටමින් B6 ලබා දීමට සිදු වේ.


කනිෂ්ක සමරනායක
විශේෂඥ වෛද්‍ය නාරි හා ප්‍රසව