Friday

අනියම් බිරිද මාන්නයකින් කොට ඝාතනය කල ස්ත‍්‍රී ලෝලියා

මිස් කෝල් 
එකකින්ක් කොටු
කරගත් හැටි 

ඔය නිශාන්ත අයියද....?. "නෑ.... මම නිශාන්ත නෙමෙයි.." ආ.... මට වැරදිලා... මම නිශාන්ත අයියට ගත්තේ... වැරදිලා වෙන්න ඇති.... සමාවෙන්න... නිශාන්ත අසා චමින්දගේ ජංගම දුරකථනයට ආ ආගන්තුක ඇමතුම විසන්ධි විය.

ඇමතුම දුන්නේ කාන්තාවකි. කටහඬ බොළඳ ය. සුමිහිරි ය. ආදරබර ය. ස්ත‍්‍රී ඇසුරට කවදත් ලෝලියකු වූ චමින්දට වැරදි දුරකථන ඇමතුම ගත් කාන්තාව

හා තවදුරටත් කතා බහ කිරීමේ ආශාවක් හටගත්තේ ය. ඇමතුම විසන්ධි වී විනාඩි දෙකක්වත් නොඉවසූ චමින්ද ඒ අංකයට ඇමතුමක් ගත්තේ ය.

”ආ.... ඔයා නිශාන්ත අයියා නෙමෙයිනේ.... ඇයි.... ආපහු ගත්තේ....” තරුණිය විමසන්නට වූවාය.
”නෑ.... මට ඔයා එක්ක කතා කරන්න ආස හිතුණා. ඔයා කොහේද...? කවුද.....?”
”මම ගැන කියන්න කලින් අයියා කවුද කියලා කියන්නකෝ.... ඔයා ආමි එකේද....?”
”නෑ.... නෑ.... මම ඩ‍්‍රයිවර් කෙනෙක්. ඉන්නේ කුරුණෑගල. ලොරියක් එලවනවා. ඔයා කොහේද ඉන්නේ....?”
”මම ඉන්නේ අරලගංවිල. ඒ පැත්ත දන්නවද....?” 


”ඔව්... මම ලොරියේ පිටි ගෙනියන්නේ පොලොන්නරුව හරහා මඩකලපුව හන්දියෙන් කල්මුනේට පිටි ගෙනියනවා. පොල්ගහවෙල මෝලක තමයි වැඩ කරන්නේ. ඔයා රස්සාවක් කරනවද....?”
”නෑ.... මම රස්සාවක් කරන්නේ නෑ. අයියේ මම බැඳලා හිටිය මහත්තයා ආමි එකේ. එයා යුද්දෙදී නැතිවුණා. දැන් මම නැන්දම්මා එක්ක ඉන්නේ. මහත්තයගේ පඩිය හම්බවෙනවානේ... ඒ නිසා කරදරයක් නැතිව ජීවත් වෙනවා....”
”මහත්තයා නැතිවෙලා කොච්චර කල්ද...?”

”දැන් අවුරුදු හයක් හතක් වෙනවා...”
”ආ... ඇත්තද....? ඔච්චර කලක් නැන්දම්මා එක්ක ඉන්න පුළුවන් වුණාද...? ඔයා ආපහු බැන්දේ නැද්ද....?”
”අනේ.... නෑ අයියේ... නැන්දම්මා හරි හොඳයි. මම බැන්දේ නෑ. ඔයා බැඳලද....?”
”මම බඳින්න කියලා කෙල්ලක්ව ආශ‍්‍රය කළා. ඒත්... අපේ අම්මලා ඒකට අකමැති වුණා. ඒ නිසා බැන්දේ නෑ. ඒක නෙමෙයි ඔයාට වයස කීයද....?”
”මට වයස තිස්හයයි... අයියා කිව්වට මම ඔයාට වඩා වැඩිමල්ද දන්නේ නෑ....”
”නෑ... නෑ... අම්මේ... මම හැත්තපහේ... මම ඔයාට වඩා වැඩිමල්....” චමින්ද සිය ජංගම දුරකථනයට ආ නාඳුනන කාන්තාවගේ ඇමතුමට වශී වී ඇති සෙයකි. ඔහු ඉඩ ලද සෑම මොහොතකම ඇයට දුරකථන ඇමතුම් දීමට පටන් ගත්තේය. උදේට කතා කරයි. කෑවද බිව්වද හොඳින්ද කියා අසයි. දහවලට කතා කරයි. මගේ අම්මා කෑවද කියා අසයි. රාත‍්‍රියට කතා කරයි. ආදරයෙන් තොරතුරු විමසයි. කෑම කෑවාද අසයි. පිටි ලොරිය එලවාගෙන යන අතර කතා කරයි. පිටි බාන වේලාවට කතා කරයි. අලූ‍ත හමුවූ පෙම්වතියගේ ජංගම දුරකථනයට රීලෝඞ් ද දමයි. තමාගේ ජංගම දුරකථනයේ මුදල් අවසන් වෙද්දී ඒ බව ඇයට කියා හැකි ඉක්මනට රීලෝඞ් දමාගෙන කතා කරයි. ඔහු ඇය පිළිබඳ පිස්සු වැටී ඇති අයුරකි.

”චමින්ද අයියා.... ඔයා ආයි බඳින්න අදහසක් නැද්ද....?”
”නැත්තේ නෑ.... මම හොඳ කෙනෙක් හොය හොයා ඉන්නේ....”
”අපේ ගමේ නම් ලස්සන ගෑනු ළමයි ඉන්නවා.  ඕනනම් හොයලා දෙන්නම්....”
”හරි...හරි.... බලමුකෝ... මට ඔයාව බලන්න ආසයි....”
”අපි දාහත්වැනිදා පොලොන්නරුවේ වන්දනාවේ එන්න ඉන්නේ...”
”වාහනයකද එන්නේ....”
”ඔව්. වෑන් එකක එන්න ඉන්නේ. නැන්දම්මයි මායි තව කට්ටියකුයි එන්න හිතාගෙන ඉන්නේ...”
”ආ... එහෙනම් මටත් එන්න පුළුවන්. වැඩකරන තැන මුදලාලිට කියලා දවස් භාගයක් නිවාඩු අරගෙන මම පොලොන්නරුවට එන්නම්. මගේ සුදු බලන්න. හැබැයි... මම ඔයාව එක්කගෙනම යනවා....”
”ඊට කලින් මාව දකින්න එපැයි. අඳුනගන්න එපැයි.”
”හා... හරි හරි.... අපි දාහත්වැනිදට හම්බවෙමුකෝ....”

චමින්දගේ ජංගම දුරකථනයට මේ ආගන්තුක කාන්තාවගෙන් දුරකථන ඇමතුම ලැබුණේ මැයි මස දාහතර වැනිදා ය. කතා බහ කළ දින දෙකට ඇයට බොහෝ සේ පෙම් බැඳි ඔහු ඇය හමුවීමටත්, එලෙස හමුවූ පසු ඇය කැඳවාගෙන යාමටත් සූදානම් ය. ඇයගේ සිතේ එවැනි අදහසක් නැතත් ඇය ද ඔහු හමුවීමට අවශ්‍ය සැලසුමක් සෙව්වාය.

දාහත්වැනිදා උදාවිය. උදේ පාන්දරින්ම චමින්ද සිය නොදුටු පෙම්වතියට දුරකථන ඇමතුමක් දී ගමන සහතිකදැයි විමසුවේය.
”හරි... හරි.... මම එනවා.... අපි හම්බවෙමු...” ඇය කීවාය. උදේ අටහමාරට පමණ ඇය වන්දනා නඩයද සමඟ පොලොන්නරු යාම සඳහා පිටත් වූවාය. දිගින් දිගටම ඔහු ඇයට දුරකථන ඇමතුම් දෙයි. අතරමඟදී ඇයගේ ජංගම දුරකථනයේ සිග්නල් නැති වී අක‍්‍රිය වූ විට ඔහු කලබලයට පත්වේ. එය ක‍්‍රියාකාරී වනතුරුම ඇමතුම් දෙයි. ඇයගේ ජංගම දුරකථනය ක‍්‍රියාත්මක වූ විට ඔහු ඇය හා කතාකොට ජංගම දුරකථනය අක‍්‍රියව තිබූ බැවින් තමා බියට පත්වූ බව කියයි. හවස දෙකයි හතළිස් පහට පමණ ඔහු ඇයට කියා සිටියේ තමා කුරුණෑගලින් දෙහිඅත්තකණ්ඩිය බලා ධාවනය වන පෞද්ගලික බස් රථයකට ගොඩවූ බවයි.

”සුදු... මට ඔයාව දකිනකල් ඉවසිල්ලක් නෑ. ඔයාලා එන ගමන් ගල් විහාරයට යන්න. කට්ටිය ගල්විහාරයේ දාලා ඔයා ටවුමේ ඇළ ළඟ තියෙන බස් හෝල්ට් එකට එන්න. මම එන්නේ ඔයාව ගෙනියන්න බලාගෙන.”
”හරි... හරි.... අපි ඊට කලින් හම්බවෙලා බලමුකෝ... මාව ඔයාට හොඳයිද කියලා...”
”ආ... මම දැන් ටිකක් ළඟ ඉන්නේ... මම කොහොමද ඔයාව අඳුනගන්නේ.... ඔයා මොනවද අඳින්නේ.... සරමද....? කලිසමද...?”
”මම ටිකක් සුදුයි. උසයි. සුදු අත්කොට ෂර්ට් එකකුයි, කළු කලිසමකුයි ඇඳලා දුඹුරු පාට බෑග් එකක් කරේ එල්ලගෙන එන්නේ. ඔයා මොනවද ඇඳලා ඉන්නේ....?”
”මම රෝස පාට බ්ලවුස් එකකුයි, කළු පාට ස්කර්ට් එකකුයි ඇඳගෙන ඉන්නේ.... අනේ... අයියේ.... මට මේ හෝල්ට් එකේ ඉන්න බයයි. හරියට සෙනඟ පිරිලා. ඒ නිසා මම අපේ වෑන් එකේ වාඩිවෙලා ඉන්නම්. ඔයා එනකම් මෙතන තනියම හිටියොත් වෙන කවුරුහරි ඇවිත් මාව උස්සගෙන යයි. ඔයා බස් හෝල්ට් එකට ඇවිත් මට කෝල් එකක් ගන්න.”
”හරි... හරි.... එහෙනම් ඔයා පරිස්සමින් ඉන්න. මම ඉක්මනට එනවා...” බස් රථය පැමිණියේය. එය ඇළ අසල බස් නැවතුමේ නතර කළේය. පැහැපත් පෙනුමකින් යුතු සුදු අත්කොට කමිසයකින් හා කළු කලිසමකින් සැරසී දුඹුරු පැහැ බෑගයක් කරේ එල්ලාගත් උස තරුණයකු ඉන් බිමට බැස්සේය. ඒ සමඟම ඔහු වෙත කඩා පැන්න සිවිල් ඇඳුමෙන් සැරසී සිටි පුද්ගලයන් දෙදෙනකු ඔහුගේ දෑත් පිටුපසට කර මාංචු දැම්මේය. නොදුටු පෙම්වතිය දැකබලා ගැනීමට ආ චමින්දට කර කියා ගත හැකි කිසිවක් වූයේ නැත.

”කෑල්ල අතන ඉන්නවා.... යමු...” එලෙස කියා ඔවුන් චමින්ද පොලිස් ජීප් රථය අසලට කැඳවාගෙන ගියේය. ඔහු ජීප් රථයට නංවා සුළු වේලාවකින් මැදිවියේ කාන්තාවක එතැනට ආවේය.
”ආ... චමින්ද....”
” මේ සෝමා මිස් නේද....?” එලෙස කී චමින්ද ලැජ්ජාවෙන් ඇඹරී බිම බලාගත්තේය.
”මොකද චමින්ද මාත් එක්ක තරහද....?”
”නෑ.... මිස්.....” හිස ඔසවා ඇය දෙස බැලූ ඔහු යළිත් මුහුණ බිමට හරවා ගත්තේය. ඇය මැදවච්චිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා සෝමලතාය. පනස් හය හැවිරිදි ඇය අවුරුදු තිස්හයක කාන්තාවක ලෙස රඟපා චමින්ද රැුවැට්ටුවේය. ඒ... චමින්ද මනුෂ්‍ය ඝාතනයක් සිදුකොට පලාගොස් සිටි සැකකරුවකු වීම නිසාය.
ඔහු අතින් ඝාතනය වූයේ අනියම් බිරිය ලෙස මාස කිහිපයක් ඔහු හා එකට ජීවත් වූ චාන්දනී නමැති හතළිස් හැවිරිදි කාන්තාවකි. ඇය දෙදරු මවකි. චමින්ද විවාහකයෙකි. තිදරු පියෙකි. වැඩිමල් දියණිය දහඅට හැවිරිදිය. විවාහකය. දෙවැනි දියණිය පහළොස් හැවිරිදි වියේ පසුවන අතර දොළොස් හැවිරිදි බාල පුතා ගල්නෑව විහාරයේ මහණ වී සිටින්නේය. ඔහු සිය බිරියගෙන් වෙන්ව තැන් තැන්වල යමින් තනිව ජීවත් වන අයෙකි. ඔහුට මෙලෙස බිරියගෙන් ඈත්වීමට සිදුවූයේ ඔහුගේ දැඩි ස්ත‍්‍රී ලෝලිත්වය නිසාය. යන යන තැන කාන්තාවන් හිතවත් කරගන්නා ඔහු අනියම් සම්බන්ධකම් රැුසකට හිමිකම් කී අතර බිරිය දරුවන්ද සමඟ ඔහු හැර තනිව ජීවත් වන්නට පටන් ගත්තේ තවදුරටත් ඔහුගේ මේ ක‍්‍රියා කලාපය ඉවසිය නොහැකි වූ බැවිනි.

ඇය පදිංචිව සිටින්නේ මැදවච්චිය පොලිස් වසමේ කැඳැහෙකැටුණ වැව ප‍්‍රදේශයේ ය. ටිපර් රථ රියැදුරකු වූ චමින්දට කහටගස්දිගිලිය ප‍්‍රදේශයේ පදිංචි චාන්දනී හමුවන්නේ ඔය අතරතුරදීය. සිවිල් ආරක්ෂක භටයකු සමඟ වීවාහ වී සිටී ඇය මොහු හා හිතවත්කමක් ඇති කර ගත්තේය. පසුව ඇය සිය සැමියා හැරදමා චමින්ද සමඟ පැනගියේ මීට වසර එකහමාරකට පමණ ඉහතදීය.

ඔහු ඇය කැඳවාගෙන ගියේ කහටගස්දිගිලිය පොලිස් වසමේ කොළොන්ගස්වැව ගමේ පදිංචි ඖෂධ හාමි නමින් හඳුන්වන ඥාතියකුගේ නිවෙසට ය. ඔහු ඇය සමඟ එම නිවෙසේ ජීවත් වූ අතර කලක් ගතවෙද්දී ඇය ඖෂධ මාමාගේ පුතා සමඟ සම්බන්ධයක් පවත්වන බවට චමින්දගේ සිතේ සැකයක් ඇති විය. යුද හමුදා සේවයේ නියුතු එම පුතාට චාන්දනී යාළුකර දුන්නේ ඖෂධ මාමා විසින් බවට ද ඔහු සැක කළේය. ඒ අනුව ඔහු ඇයට කියා සිටියේ මේ ගෙදර තවදුරටත් නොසිට වෙනත් ගෙදරකට යමු කියා ය.
එහෙත්... ඇය එම නිවෙසින් පිටවයාම ප‍්‍රතික්ෂේප කළා ය. චමින්ද හා චාන්දනී අතර අඩදබර ඇතිවූයේ ඉන් අනතුරුව ය.

දිගින් දිගටම දෙදෙනා අතර අඩදබර ඇති වූ අතර සිද්ධිය වූ දිනයේ ද දෙදෙනා අතර ආරවුලක් ඇතිවිය. බිරිය හා රණ්ඩු වී නිවෙසින් පිටවූ චමින්ද අල්ලපු ගමේ පදිංචි ඥාති නිවෙසකට ගියේය. එහි ටික වේලාවක් සිටි ඔහු එම නිවෙසේ තිබූ මන්නයක් ද රැුගෙන ඖෂධ මාමාගේ නිවෙස වෙත එනවිට ? බෝවී තිබිණි. මන්නය රැුගෙන ආ ඔහු නිවෙසට ඇතුළු වූයේ නැත. හොර රහසේ ගෙවත්තට ඇතුළු වී නිවෙස පිටුපසට වී සැඟවී බලා සිටියේ චාන්දනී කොයි මොහොතක හෝ නිවෙසින් පිටතට පැමිණෙනතුරු ය.

ඔහු සැඟවී සිටින ස්ථානය අසල අඹ ගසකි. විදුලි බුබුලක්ද දල්වා ඇත. ඒ අසල ජල කරාමයක්ද වේ. වේලාව රාත‍්‍රී අට පසුවූවා පමණි. රාත‍්‍රී ආහාරය ගත් චාන්දනී අත සෝදා ගැනීම සඳහා පිඟාන ද රැුගෙන ජල කරාමය වෙත පිය නැගුවාය. එලෙස ඉදිරියට යන ඇය දුටුවේ මන්නයක් ද අතැතිව තමා දෙසට එන චමින්දගේ රුවයි. ඉන් බියට පත් ඇය කෑ ගසාගෙන නිවෙස වෙත දිවයන්නට වූවාය. ඇය පසුපස පන්නාගෙන ගිය චමින්ද ඇයගේ හිසට මන්නා පහරක් එල්ල කරද්දී ඇය සිටියේ මුළුතැන්ගේ දොර අසල ය. පහර කාගෙන ඇය බිම ඇද වැටුණාය. මන්නයද අතැතිව චමින්ද පැන ගියේය. බරපතළ තුවාල ලබා සිටි චාන්දනී රෝහල් ගත කළ අතර ඇය මාස දෙකක පමණ කාලයක් සිහිසුන්ව සිට අවසානයේ මිය ගියාය.

ප‍්‍රදේශය හැර සැඟවුණ චමින්ද සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේ චාන්දනීට පහරදුන් දිනයේ සිට ය. එහෙත්.... ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් සොයාගැනීමට හැකි වූයේ නැත. මේ අතර චාන්දනී මියයාමට සතියකට පමණ පෙරදී අනුරාධපුර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් සේනාරත්න මැදවච්චිය පොලිසියේ වාර්ෂික නිරීක්ෂණ චාරිකාවේ නිරත විය. ඒ අවස්ථාවේදී ඔහු එම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති සෝමලතා අමතා මේ ඝාතනයේ සැකකරු සොයන ලෙසට උපදෙස් දුන්නේය. එවිට ඇය කියා සිටියේ මෙය මනුෂ්‍ය ඝාතනයක් බැවින් තමාට අයිති නැති බවකි. එහෙත්... මහේෂ් සේනාරත්න මහතා කියා සිටියේ තුවාල ලබා සිටින්නේ කාන්තාවක බැවින් අපරාධකරු සෙවීමට සහාය වන ලෙස ය.

චාන්දනී සිහිය නොලබාම මිය ගියාය. ඇයගේ සිරුර බාරගනු ලැබුවේ විවාහක සැමියා විසිනි. ඇය රෝහල් ගත කළ දිනයේ සිට මියයනතුරුම සිහිසුන්ව සිටිය ඇය ගැන සොයා බැලූ‍වේ ද විවාහක සැමියා ය. දරුවන් ය.

චමින්ද ඇල්ලීමේ වගකීම පැවරුණ ද පොලිස් පරීක්ෂිකා සෝමලතාට ඒ සඳහා යොමුවීමට එතරම් කාල වේලාවක් ලැබුණේ නැත. එහෙත්... වෙනත් පැමිණිලි විභාගවලට යන අතරතුරේ ඇය චමින්ද සොයා ගැනීමේ මඟක් ඇත්දැයි සොයා බලන්නට අමතක කළේ නැත. ඒ කාලය අතරතුරේ ඇයට චමින්දගේ කියා ජංගම දුරකථන අංකයක් ලැබිණි. එය ක‍්‍රියා විරහිත ය. ඊට පසු ඇයට චමින්දගේ කියා තවත් දුරකථන අංකයක් හමුවූයේ පසුගිය දහතුන් වැනිදා ය. ඇය එදිනම ජංගම දුරකථන අලූ‍ත්වැඩියා කරන ස්ථානයකට ගොස් පරණ ජංගම දුරකථනයක් ඉල්ලා ගත්තාය. අලූ‍ත් සිම්පතක් ද මිලදී ගත්තාය. ඇය මෙහෙයුම ආරම්භ කළේ ඊට පසු දිනයි.

මිස්කෝල් එකක් දී ඔහුගෙන් දුරකථන ඇමතුමක් ගෙන්වා ගැනීමට සිතා ඇය එම අංකය ඇමතූ අතර ඔහු එක් වරක් පමණක් රිං වෙද්දී දුරකථනයට පිළිතුරු සැපයූවේය. අංකය වැරදි බව කියා ඇය ඇමතුම විසන්ධි කළ ද ඔහු දිගින් දිගටම ඇයට ඇමතුම් දෙමින් ආදර බස් දොඩන්නට විය. ඔහු පොලොන්නරුවට ගෙන්වාගැනීමට අවශ්‍ය මඟ පාදාගත් ඇය ඒ බව ස්ථානාධිපතිවරයාට දැන්වීය.
ස්ථානාධිපතිවරයා ඒ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් සේනාරත්නට දැන්වූ අතර ඔහු උපදෙස් දුන්නේ කණ්ඩායමක්ද රැුගෙන පොලොන්නරුවට ගොස් සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙසයි. ඒ අනුව සෝමලතාගේ සහයට අපරාධ අංශයේ ස්ථානාධිපති සෙනෙවිරත්න සැරයන්වරුන් වන (7959* ධර්මරත්න, (23942* ගුණපාල ද රියැදුරු කොස්තාපල් (2746* වෙත්තසිංහද එක්විය. මොවුන්ගෙන් සැරයන්වරුන් දෙදෙනා සිවිල් ඇඳුමෙන් සැරසුණු අතර පිරිස පොලිස් ජීප් රථයකින් පොලොන්නරුවට ගියේය.

එලෙස ගොස් ජීප් රථය සඟවා නිල ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන්ද අවට සැඟවිණි. සිවිල් ඇඳුමෙන් සිටි සැරයන්වරුන් දෙදෙනාගෙන් එක් අයකු චමින්ද පැමිණෙන බව කී බස් නැවතුම්පළේ ද අනෙක් සැරයන්වරයා අසල පිහිටි ත‍්‍රිරෝද රථ නැවතුම්පළේ ද සිටියේය.

පොලොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ද දැනුවත්කොට මේ ගමන පැමිණි අතර ඔහුගේ සහයෙන් වෑන් රථයක් ලබාගැනීමට ද පොලිස් කණ්ඩායමට හැකිවිය. සෝමලතා ඔහු එනතුරු රැුඳී සිටියේ එම වෑන් රථයේය. අත්අඩංගුවට පත් සැකකරුගේ කටඋත්තරය මත අපරාධය සඳහා යොදාගත් මන්නයද සොයාගත් අතර මැදවච්චිය පොලිසියේ ස්ථානාධිපති බී. එම්. ඒ. දිසානායකගේ මෙහෙයවීම මත මෙහෙයුම දියත් කැරිණි. සහකාර පොලිස් අධිකාරී ධර්මසේන රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ සිදුවිය.

තක්ෂිලා