Tuesday

රසිකයෙකුගෙන් ශ්‍රැතිට අතවර

දොර තල්ලූ
කරගෙන
කාමරයටත්
රිංගලා.....

ශ‍්‍රැති හසන් දැන් ජනප‍්‍රිය, කාර්ය බහුල නිළියක්. ඇය, ජනප‍්‍රිය නළු කමල හසන් ගේ දියණියයි. මේ වන විට 27 වැනි වියෙහි පසුවන ශ‍්‍රැති ට තවත් අලූත් බොලිවුඞ් චිත‍්‍රපටයක ප‍්‍රධාන චරිතයක් නිරූපණය කිරීමේ වරමක් ලැබිලා. අනීස් බාස්මී අධ්‍යක්ෂණය කළ මේ චිත‍්‍රපටයේ නම, වෙල්කම් බැක් චිත‍්‍රපටය නිෂ්පාදනය කරන්නේ ෆයිරූස් නදියද්වාලා.‍‍

මේ චිත‍්‍රපටයේ රූගත කිරීම් පසුගිය සතිය තුළදීත් සිදුවුණා. ඒ රූගත කිරීම්වලට ශ‍්‍රැති සහභාගි වුණේ තට්ටු නිවාස සංකීර්ණයක් තුළ පිහිටි නවාතැනක ඉඳලයි.


එක්තරා උදෑසනක සුපුරුදු පරිදි ඇය ලැහැස්ති වුණේ වෙල්කම් බැක් චිත‍්‍රපටයේ රූගත කිරීම් කිහිපයකට සහභාගි වෙන්නයි.

ඇය නවාතැනින් පිටත්වෙන්නට ඔන්න මෙන්න කියා තිබෙද්දි කවුදෝ අයෙකු සීනුව නාද කළා. ඇය, කවුද? යනුවෙන් විමසුවා. පිළිතුරක් නැහැ. ඒ නිසා ඇය යන්තමින් දොර විවෘත කළා පමණයි, නාඳුනන පුද්ගලයෙකු දොර තල්ලූ කර ගෙතුළට එන්නට උත්සාහ කළා. ශ‍්‍රැති මොහොතක්වත් පමා වුණේ නැහැ. විදුලි වේගයෙන් දොර වසා අගුලූ දැමුවා. ඒ නිසා නාඳුනන පුද්ගලයාට නි‍වෙස තුළට එන්නට ‍හැකි වුණේ නැහැ. ඔහු ආපසු යන්න ගියා.

මේ පුද්ගලයා මීට කලින් දිනයකදීත් තමන්ට කරදර කරන්නට උත්සාහ කළ බව ශ‍්‍රැතිට පසුව සිහිපත් වුණා. එදින ද ඇය වෙල්කම් බැක් චිත‍්‍රපටයේ රූගත කිරීමකට දර්ශන තලයට ආසන්නව වෑන් රථයක සිටිද්දී මේ තැනැත්තා පැමිණ තිබෙනවා.

ඒ මොහොතේදී ඔහු, ශ‍්‍රැති අසුන්ගෙන සිටි වාහනයේ දොර හැර ඇතුළට එන්නට උත්සාහ දැරුවත් ඒ අසල සිටි ඇගේ වෙස්ගැන්වීමේ ශිල්පියා සහ කොණ්ඩ මෝස්තර ශිල්පියා‍ගේ මැදිහත්වීමේන් එය වැළකී තිබෙනවා. මෙයින් කෝපයට පත් ඔහු වෑන් රථයට අතින් පයින් පහර දී ගිය බවයි පැවසෙන්නේ. ඒත් කිසිවෙකු සිතුවේ නැහැ ඔහු නැවතත් ශ‍්‍රැතිව සොයා පැමිණේවි කියා.

මේ සිද්ධි දැනගත් පසුව චිත‍්‍රපටයේ නිෂ්පාදක ෆයිරූස්, වහා ශ‍්‍රැතිගේ ආරක්ෂාවට ආරක්ෂක භටයන් දෙදෙනකු පැය 24 පුරා සේවයේ යෙදවීමෙට පියවර ගත්තා. චිත‍්‍රපටයේ රූගත කිරීම් නිම වනතුරු ඔවුන් දෙදෙනා ශ‍්‍රැතිට ආරක්ෂාව සලසනු ඇති බවයි ෆයිරුස් පැවසුවේ. ඒත්, තමන්ට නාඳුනන අයෙකුගෙන් හිරිහැර සිදුවූ බවට ශ‍්‍රැති මේ වනතුරු පොලිසියට පැමිණිල්ලක් කර නැහැ.