Friday

දහතුන් වියැති දියණියට පියාගෙන් අස්වාභාවික අතවර

බර වැඩ සහිත
වසර 20ක
සිර දඩුවමක්

සිය 13 හැවිරිදි දියණියට අස්වාභාවික ලිංගික ක‍්‍රියාවක් සිදු කරන ලදැයි අධිචෝදනා ලබා සිටි පියෙකුට හලාවත මහාධිකරණ විනිසුරු එච්. එම්. අමල් තිලකරත්න මහතා බරවැඩ සහිත අවුරුදු 20 ක සිරදඬුවමක් නියම කළේය. 

සිද්ධිය වන විට තමා 13 හැවිරිදි වියේ පසුවූ බවත් පියා අධික ලෙස බීමත්ව සිටි බවත් පියා සිදු කළ ක‍්‍රියාව තම නැන්දාට කියා ඉන්පසුව පොලිසියට පැමිණිල්ලක් කළ බවත් රෝහලට ඇතුළුවූ බවත් වින්දිත තැනැත්තියගේ සාක්ෂියෙහි සඳහන් විය.

පැමිණිල්ලෙන් ඉදිරිපත් වූ අනෙකුත් සාක්ෂි සහ වින්දිත තැනැත්තියගේ සාක්ෂිය කිසිදු පරස්පරයකින් තොරව බව කියා සිටි මහාධිකරණ විනිසුරු එච්. එම්. අමල් තිලරක්න මහතා අධිචෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකර ඇති හෙයින් චූදිත චෝදනාවට වරදකරු කරන බව කියා සිටියේය. සත්කුමාර මුදියන්සේලාගේ පත්මසිරි යන අය චූදිත පියා වෙති. සිද්ධිය වන විට දන්කොටුව මැටිකොටුව ප‍්‍රදේශයේ ගඩොල් පෝරණුවක වැඩ කරමින් පදිංචිව සිට ඇත. 

2000 ඔක්තෝබර් 01 සහ 2000 දෙසැම්බර් 09 දින අතර සිද්ධිය වී ඇති බව අධිචෝදනා පත‍්‍රයේ සඳහන් විය. චූදිත මහාධිකරණය මගහැර සිටියෙන් චූදිත නොමැතිව නඩුව විභාගයට ගෙන ඇත. බරවැඩ සහිත අවුරුදු 20 ක සිරදඬුවමක් චූදිතට නියම කර එයට අමතරව රුපියල් 20,000 ක දඩයක්ද නියම කළේය. 


දඩ මුදල ගෙවන්නේ නම් සැහැල්ලූ වැඩ සහිත අවුරුද්දක සිර දඬුවමක් නියම කළේය. වින්දිත තැනැත්තියට රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ගෙවීමට නියම කර වන්දි මුදල නොගෙවන්නේ නම් සැහැල්ලූ වැඩ සහිත අවුරුදු දෙකක සිර දඬුවමක් නියම කළේය.


චූදිත අත්අඩංගුවට ගත් දින සිට අනුපිළිවෙළින් දඬුවම් නියම විය යුතු බවද සඳහන් කළේය. චූදිතට විවෘත වරෙන්තු පිටපත් හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මගින්ද වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී මගින්ද නිකුත් කිරීමට නියම විය.  

ඒ. යූ. ගුණපාල