Monday

තැපෑලෙන් ලැබුණු බෞද්ධ පොත මගේ ජීවිතේ වෙනස් කළා - අයිරාංගනී

මං උපතින්
කතෝලික...

ප‍්‍රවීණ සිනමා නිළි අයිරාංගනී සේරසිංහ බොහෝ දෙනෙකුගේ ගෞරවයට ආදරයට පත්වූ නිළියකි.

ඇගේ ජීවිතයේ අතිශය කම්පිත සිදුවීමක් වූයේ ඇගේ එක් පුතෙකු හදිසි අනතුරකින් මියයාමේ සිදුවීමයි. උපතින් කතෝලික භක්තිකයෙකු වූ අයිරාංගනීගේ ජීවිතය ඇදවැටුණ මොහොතේ අහම්බෙන් තැපෑලෙන් ලැබුණ එක්තරා බෞද්ධ පොතක් ඇගේ ජීවිතයම වෙනස් කර තිබුණා.  ඒ බව අද පුවත්පත් සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් ඇය හෙළි කර සිටිනවා. ඒ පහත පරිදිය.


ඔබ අයිරාංගනී සේරසිංහ වෙන්න කලින් අයිරාංගනී මීදෙනිය නේද?

ඔව් මීදෙනිය මගේ පිය පරපුරෙන් මට ලැබුණු නම. මගේ තාත්තා ජෝසප් හර්කියුලිස් මීදෙනිය රටේ මහත්තයා. මගේ අම්මා වයලට් එල්ලාවල. එයා රත්නපුරේ හිටපු රටේ මහත්තයෙක්ගේ දුවක්.

ඔබ ඉගෙන ගත්තේ කොළඹ පරිසරයක වුණාට ඉපදුණේ හැදුණේ වැඩුණේ සුන්දර ගමක.

ඔව්. මගේ ගම රුවන්වැල්ලේ මූදුගමුව. මීදෙනිය වලව්ව තමයි අපේ මහ ගෙදර. අපේ ළමා කාලය ගෙවුණේ මේ පරිසරයේ.

ඔබ කොහෙන්ද අධ්‍යාපනය ලැබුවේ?

මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත බ‍්‍රිජට් කන්‍යාරාමයේ සහ බිෂොප් විද්‍යාලයෙන්. ඊට පස්සේ ඒ කාලේ තිබුණු එම්. එස්. සී. විභාගය කරන්න මහනුවර උසස් බාලිකා විද්‍යාලයට ගියා.

පළමු විවාහය සිද්ධ වුණේ කොහොම ද?

මම විශ්ව විද්‍යාලේ ඉන්න කාලෙදි අඳුන ගත්ත කෙනෙක්. ඒ කාලෙ එයා දන්ත වෛද්‍ය පීඨයේ උගන්වනවා. මේ විවාහයට අම්මා කැමැති වුණේ නෑ. මගේ කැමැත්තට තමයි කරගත්තේ.
විවාහ වුණාට පස්සේ මහත්තයාට ශිෂ්‍යත්වයක් ලැබුණා පිටරට යන්න. අපි දෙන්නම පිටරට ගියා.

එතකොට ඔබ විදේශයකදී රංගනය ඉගෙන ගත්තේ කොයි කාලෙ ද?

ඔහුත් සමග එංගලන්තයේ ගත කරපු කාලෙදි තමයි අවුරුදු 04 ක් විතර අපි එහේ හිටියා. එංගලන්තයේ බටහිර පැත්තට වෙන්නට පිහිටි විද්‍යාලයකදී අවුරුදු 2 ක් පමණ ඉගෙන ගත්තා. ඊට පස්සේ ලන්ඩන්වලට ඇවිත් අවුරුද්දක් විතර එහෙත් ඉගෙන ගත්තා.

ඔබේ සැමියා ඒකට කැමැති වුණා ද?

කැමැත්තක් තිබුණේ නෑ. නමුත් ලංකාවේ මම නාට්‍ය හදාරපු මහාචාර්යවරයා තමයි මේ විද්‍යාලවලට ගිහින් ඉගෙන ගන්න කියලා මාව යොමු කළේ. ඒ නිසා ඔහුට කරන්න දෙයක් තිබුණේ නෑ. නමුත් මට නිදහස තිබුණානම් ඊට වඩා ඉගෙන ගන්න තිබුණා.

එවැනි නොගැළපීම් ද ඒ විවාහය කෙළවර වෙන්න හේතු වුණේ?

ඔව් ඒවත් හේතුවක් වුණා. තවත් විවිධ හේතු තිබුණා. කොහොමහරි අපි අවුරුදු 04 න් ලංකාවට ආව. ඇවිල්ලා මාස ගණනකින් වෙන්වුණා. ‘රේඛාව’ චිත‍්‍රපටය කරනකොට අපි වෙන්වෙලා.

එතකොට ඔබට සේරසිංහ මහත්තයව මුණ ගැහෙන්නෙ?

අපි මුණ ගැහුණේ හු`ගාක් ඉස්සර. අපි දෙන්නා දැන හඳුනාගෙන හොඳ මිතුරන් වෙලා හිටියේ. නමුත් මෙවැනි විවාහ සම්බන්ධයක් ඇතිවෙන්නේ මම රට ඉඳලා ආවට පස්සේ. ඒ වෙනකොට වේදිකාවේ අපි දෙන්නා ර`ගපාලත් තිබුණා.

ඒ විවාහයට අම්මා කැමැති වෙනව ද?


ඔව්. ප‍්‍රශ්නයක් තිබුණේ නෑ. අම්මා අපේ දරුවනුත් දැකලයි නැතිවුණේ.

ඔබ වින්සන්ට් සේරසිංහයන් සමග සාර්ථක විවාහ ජීවිතයක් ගත කර දරුවෝ හදපු මවක්?

ඔව්. අපි දෙන්නම නාට්‍යවලට යන නිසා දෙන්නම ගත කළේ කාර්ය බහුල ජීවිතයක්. අපි නාට්‍යවලට යත්දි දරුවෝ දෙන්නා අඬනවා. දැන්නම් මට හිතෙනවා දරුවෝ අඬව අඬව මොන පිස්සුවක් ද ඒ මම කළේ කියලා.

දැන් ඔබ ළග ඉන්නේ එක පුතයි නේද?

ඔව් දැනට අවුරුදු 21 කට කලින් අනිත් පුතා ඇක්සිඩන්ට් එකකින් මිය ගියා. මගේ ජීවිතේ මම උහුලපු ලොකුම වේදනාව ඒ. ඒ වේදනාව දරාගන්න බැරුව මම පිස්සු වැටුණා. මගේ හොඳම යාළුවෙක් තමයි රිචඞ් ද සොයිසාගේ මව මනෝරානි සරවනමුත්තු. රිචඞ් නැති වුණ වෙලාවේ මම එතුමියගේ ගෙදර හිටියේ. ඇය ඒ වේදනාව දරාගත්ත හැටි දැකලා මම ටිකක් මගේ හිත හදාගත්තා. ඒත් සම්පූර්ණයෙන්ම මගේ හිත හදාගන්න මට උදව් වුණේ එක්තරා දවසක තැපෑලෙන් මගේ ගෙදරට ආපු පුංචි බෞද්ධ පොතක්.

ඒ වනතුරු ඔබ කතෝලිකයෙක් ද?

අපි බෞතීස්ම කරලා
හිටියේ. ඉස්කෝලේ යන කාලේ පල්ලියට ගියා. ක‍්‍රිස්තියානු ආගම ඉගෙන ගත්තා. ඒත් ටික දවසකින් මට මේ ආගම කෙරෙහි වූ විශ්වාසය නැතිව ගියා. ඊට පස්සෙ මම පල්ලි යන එක අත්හැරියා.

ඒ වුණාට මගේ මහත්තයා ඉතාම හොඳ ක‍්‍රිස්තියානුවෙක්. අපි විවාහ වුණොත් පල්ලියේ. බෞතීස්ම කරලා තිබුණු නිසා ඒක පහසු වුණා.

නමුත් මට මතක හැටියට දරුවෝ වත් පල්ලි ගියේ නෑ. අපි ගෙදර ඉන්න කාලේ අපේ ගේ ළ`ගමයි පන්සල තිබුණේ. අපේ ගෙදරින් පන්සලට දිනපතාම දානේ අරිනවා. පන්සලේ හාමුදුරුවෝ අපේ අක්කා ඉන්න කාලේ දිනපතාම ගෙදරට වඩිනවා. සුදු රෙද්දක් දාපු පුටුවකුයි පඩික්කමකුයි නිතරම අපේ ගෙදර ලෑස්ති කරලා තිබුණා. එහෙම දේවල් කළාට බුද්ධාගම ගැන අපි හදාරලා නෑ. බුද්ධාගම ඉගෙන ගත්තේ නෑ. අර පුංචි බෞද්ධ පොත හමුවුණාට පස්සේ මම ගොඩාක් බුදු දහමට ළංවුණා. දැන් නිතරම පොත් පත් කියවනවා.

සාකච්ඡුා සටහන - හේමාලි විජේරත්න
ඡුායාරූප - සුදම් ගුණසිංහ