Sunday

විවාහයෙන් පස්සේ ධනංජය වෙනස් වෙලා


මට රඟපෑමෙන්
ඉවත්වෙන්න කියලා
ඇය කියන්නෙ නැහැ.

ධනංජය සිරිවර්ධන මීට මාස කිහිපයකට කළින් යුග දිවියට පිවිසුණා. කෙළිලොල් යෞවනයෙන් මිදිලා ජීවිතේ නව පිටුවක් පෙරලූ පසුව එතැනින් එහා තියෙන්නේ වෙනස්ම ජීවිත කතාවක්.

තනිකඩ ජීවිතය හා විවාහ ජීවිතය අතර ලොකු වෙනසක් තියෙනවා කියලා බොහෝ විවාහක පිරිස් කියනවා. මේ වෙනසෙහි ඇති හොඳ හා නරක ගැන විවිධ මතවාද ඉදිරිපත් කෙරෙනවා.


ධනංජය සමග කතාබහ කරන අතරේ මේ කරුණ ගැන අපි ඔහුගෙන් ඇහුවා. ඒ අතරේම ඔහුගේ කලා ජීවිතයේ නවතම තොරතුරු ටිකකුත් විමසුවා.

අලුත් ජීවිතය ගැන මොනවද හිතෙන්නේ...?
විවාහය කියන්නේ ජීවිතයට අවශ්‍යම දෙයක්. මමත් විවාහ වුණා. දැන් ඉතින් මට ආදරය කරන කෙනෙක් මගෙ ළඟින්ම ඉන්නවා. ඒ හැරුණම ඉතින් ජීවිතය පුරුදු විදියටම ගෙවිල යනවා.

බොහෝ පිරිමින් විවාහයෙන් පසුව කෙළිලොල් තරුණයාගෙන් මිදිලා තැන්පත් ජීවිතයකට හුරු වෙනවා...
මම නම් තවමත් කලින් හිටපු කෙළිලොල් තරුණයා තමයි.

ඉස්සර ධනංජයට බත් කවන්නේ අම්මලු.
(හිනැහී) දැනුත් එහෙමම තමයි.

ඔබේ බිරිඳ මේ විදියේ ඇවතුම් පැවතුම් ගැන මොකද කියන්නේ...?
ඇය මා ගැන ඉතාම හොඳින් දන්නවා. අනික ඉතින් අපේ අම්මටයි තාත්තටයි ඇය ‍ලේලියක් නමෛයි, දුවෙක්. ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ.

ඇය රැකියාව කරන්නේ විදේශයේ..?
අපි විවාහ වුණේ 2014-04-04 දා. පසුගිය සිංහල අවුරුද්ද ගෙවිල ගියාට පස්සෙ ඇය ආයෙම රැකියාවට පිටත් වුණා.

එතකොට ධනංජයට තමන්ගේ බිරිඳ ළඟින් ඉන්න ලැබුණේ ඉතාම කෙටි කාලයයි.
හරියටම කියනව නම් අපේ මධුසමය දින 3කටයි සීමාවුණේ.

ඇයි ඒ...?
ශ්‍රියානි අක්කගේ (ශ්‍රියානි අමරසේන) නවතම ටෙලි නාට්‍යය සඳහා මට ස්විට්සර්ලන්තයට යන්න සිදුවුණේ අපේ විවාහයෙන් දවස් 3කට පසුව.

බොහෝ අය කිව්වේ ධනංජය විවාහ වෙලා මනාලිය සමග විදෙස්ගත වුණා කියලා...
බොහෝ අය හිතුවෙ එහෙම තමයි. ඒත් මම ගියේ ස්විට්සර්ලන්තයේ රූගත කළ ගුවන් පාලම ටෙලි නාට්‍යයේ රඟපාන්න.

ඔබ ‘ගුවන් පාලම’ රූගත කිරීම් ඉවරවෙලා ලංකාවට එද්දි බිරිඳගෙ නිවාඩුව අවසන් වෙලාද...?
ගුවන් පාලම රූගත කිරීම් ස්විට්සර්ලන්තයේ වගේම ලංකාවෙත් තියෙනවා. ස්විට්සර්ලන්තයේ රූගත කිරීම් ඉවරවෙලා ලංකාවට ආපු හැටියේ රිවස්ටන් යන්න වුණා. ඒ ’නෙතු අද්දර’ ටෙලි නාට්‍යය සඳහා. ඒ අතරතුර මමයි බිරිඳයි මුණගැසුනා. ඒත් ඉතින් අලුත විවාහ යුවලක් විදිහට අපිට එකට ඉන්න ලැබුණු කාලය අඩුයි.

විවාහ වූ පසුව රඟපෑමෙන් ඉවත් වෙලා ඇයත් සමග විදෙස්ගත වනවා කියලා ධනංජය පැවසුවා මට මතකයි...?
ඒ තීරණය වෙනස් කළේ ඇයගේත් අනුදැනුම පිට. මගෙ රඟපෑම්වලට ආදරය කරන රසික පිරිසක් ඉන්නා බව ඇය දන්නවා. රඟපෑම තුළින් මට ඉදිරි ගමනක් තියෙන බවත් ඇය වටහාගෙන ඉන්නවා. ඉතින් මට රඟපෑමෙන් ඉවත්වෙන්න කියලා ඇය කියන්නෙ නැහැ. මම දිගටම රංගනය තුළ ඉන්නවා දකින්න තමයි ඇය කැමති.

ඔබ දෙදෙනාට හැමදාම දෙරටක ඉන්න වේවිද?
නැහැ. ඇය නිවාඩුව ලැබූ හැටියේ එනවා. අනෙක ඉදිරියේදී අපේ ජීවිතවල යම් යම් වෙනස්කම් සිදුවේවි.

විවාහයෙන් පසුව තරුණ නළු නිළියන්ට විරුද්ධ ලිංගික ආකර්ෂණය අඩුවෙනවා කියන්නේ ඇත්තද..?
මට හැමදාම තිබුණේ මගෙ රඟපෑම්වලට ආදරය කරන රසික රසිකාවියන්ගේ ආදරය. ඒකට ගැහැනු පිරිමි භේදයක් නැහැ. ඒ ප්‍රතිචාර අදත් ඒ විදියටම තියෙනවා.

පුද්ගල ආකර්ෂණයට බැඳෙන විරුද්ධ ලිංගික පාර්ශ්වයේ ආදරය රැකෙන්නේ තනිකඩව ඉන්නකොටද...?
මට ආකර්ෂණය වූ මගෙ ආදරය ඉල්ලූ ගෑනු ළමයි නම් රසිකාවියන් අතර ඉඳලම නැහැ. ඒ හින්දා මට ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න බැහැ. තමන්ට කරදරයක් වන මට්ටමටම ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ ආදරය ලැබෙන අයත් ඇති. ඒක මම දන්නැහැ. ඒත් විවාහවන්නට කලින්වත් මට නම් එබඳු තත්ත්වයක් තිබිලාම නැහැ.

ආරියවංශ කුලතිලක