Wednesday

ගයාත්‍රි කටකතා ගැන කියයි

කලාකරුවන්ගේ 
පවුල්වල ප්‍රශ්න 
රටේ මිනිස්සුන්ට
වැදගත් නැහැ.....

රංගන ශිල්පිනියක ලෙසත්, රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙසත් ඇය මේ දිනවල තරමක් කාර්යබහුලයි. ලද විවේකයකදී ගයාත්‍රි ඩයස්ව අපි සම්බන්ධ කරගත්තා, ඇයගේ තොරතුරු ඔබට කියන්න.

කොහොමද ගයාත්‍රි?
හොඳින් ඉන්නවා. මේ දිනවල තරමක් කාර්යබහුලයි. වෙඩින් සීසන් එක නිසා සැලෝන් එකේ වැඩ ටිකක් වැඩියි. රංගන කටයුතුවලින් ඈත් වෙලා නෑ. මේ දිනවල චිත්‍රපට දෙකකත්, ටෙලි නාට්‍යයකත් රූගත කිරීම් කරනවා.


ඔබේ මිතුරිය නයනවා ළඟදී මුණ ගැහුණේ නැද්ද?
විවේකයක් ලැබුණම නයනව බලන්න මම යනවා. නැත්නම් ඇය එනවා, මාව බලන්න. අපි දෙන්නම රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයේ කටයුතු කරන නිසා ලංකාව පුරාම රූපලාවණ්‍ය වැඩමුළු ටිකක් පවත්වන්න කටයුතු කරමිනුයි ඉන්නේ.


ඔබේ දියණියන් දෙදෙනා ගැනත් මතක් කරමු.
මලීෂා, දුආශා තමයි දියණියන් දෙදෙනා. තාම පාසල් අධ්‍යාපනය ලබනවා.

රංගන කටයුතු සහ රූපලාවණ්‍ය කටයුතු එක්ක දියණියන් දෙදෙනාට මවක් විදිහට ඔබෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටුවෙනවා කියලා ඔබ හිතනවද?
නිරන්තරයෙන්ම දූලා දෙන්නා එක්ක ඉන්න ලැබෙන කාලය අඩු වුණත් පුළුවන් හැම වෙලාවෙම මගෙන් වෙන්න ඕන යුතුකම් මම ඉටු කරනවා.

දියණියන් දෙදෙනා අනාගතයේ රංගනයට යොමු වෙනවාට මවක් විදිහට ඔබ කැමැතිද?
මෙහෙමයි, අපි කිසි දේකට එයාලා දෙන්නට බල කරන්නේ නෑ. ඒ දෙන්නා කලා ක්‍ෂේත්‍රයට එන්න කැමැති නම් මගේ අකැමැත්තක් නෑ. මොන ක්‍ෂේත්‍රය තෝරා ගත්තත් හොඳ අධ්‍යාපනයක් ලබා දීලා සමාජයේ හොඳ පුරවැසියන් කිරීම තමයි අරමුණ.

ඔබේ සැමියා අධ්‍යක්ෂණය කරන අලුත්ම චිත්‍රපටය චමත්කා. එහි රංගනය සඳහා ඔබට ආරාධනාවක් කළේ නැද්ද?
සාමාන්‍යයෙන් චන්න නිර්මාණය කරන කිසිම නිර්මාණයකට මාව දායක කර ගෙන නෑ. ඉතිං මේ නිර්මාණය සඳහා මට ආරාධනාවක් කළේ නෑ. ඒක ඒ තරම් හිතන්න දේකුත් නැහැ. මොකද මට සුදුසු චරිතයක් නැතිනම් මාව ඒකට අරන් වැඩක් නැහැනේ.

අනාගතයේ දී ඔහුගේ නිර්මාණයකට ඔබට ආරාධනා කළොත් එය පිළිගන්නවාද?
මම හිතන්නෑ චන්න යටතේ රඟපෑම සඳහා මට ආරාධනා කරයි කියලා.

ඔබ සහ සැමියා විරසක බවට පැතිරෙන කටකතා පිළිබඳ ඔබට මොනවද කියන්න තියෙන්නේ?
ගොඩක් වෙලාවට පවුල්වල ප්‍රශ්න ඇති වෙනවා. ඒ දේවල් මගේ පවුලට විතරක් විශේෂ දෙයක් නමෛයි. සමහර මාධ්‍ය පුංචි පුංචි දේවල්වලට ලොකු ප්‍රචාරයක් ලබා දීලා බලා‍පොරොත්තු වෙන්නේ මොනවද කියන්න මම දන්නෑ. කලාකාරයෝ වුණත් ඔවුන්ගේ පවුල්වල ප්‍රශ්න රටේ මිනිස්සුන්ට වැදගත් කියලා මම හිතන්නෑ.






ෂයමි ගමගේ
ඡායාරූප - චමිල කරුණාරත්න