Wednesday

දැන් ඉන්නේ ආත්මාර්ථකාමී,යාන්ත්‍රික පෙම්වතුන්

පසුගිය සිකුරාදා රාත්‍රියේ රූපවාහිනී ප්‍රවෘත්ති නරඹමින් සිටියදී ප්‍රවීණ  ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා පැවැත්වූ  සාහිත්‍ය දේශනයක කොටසක් විකාශය විය. ඒ කෙරෙහි මගේ විශේෂ අවධානය යොමුවූයේ එම දේශනයේ ගැබ්වූ රසවත්කම නිසාය.

එක්තරා පාසලක පැවැත්වූ සාහිත්‍ය දේශනයේදී ඔහු සාකච්ඡාවට භාජනය කළේ ප්‍රේමයෙන් පරාජය වීම ප්‍රේමය ප්‍රතික්‍ෂේප වීම වැනි කාරණාවලදී ඇසිඩ්  ගැසීම, පිහියෙන් ඇනීම වැනි කෲරතර ක්‍රියාවන්ට පෙළඹීම වෙනුවට ගීත රසාස්වාදය හෙවත් කලාව  තුළින් කෝපය, වේදනාව වැනි සිය භාවයන් පිට කිරීම පිළිබඳවය.


සාහිත්‍යවේදී රත්න ශ්‍රී විජේසිංහ එම දේශනය  පවත්වා දින දෙකක් ගවෛන්නට පෙර සරසවි සිසුවියන් දෙදෙනකුගේ ඝාතන ගැන අපට  අසන්නට ලැබුණි.

ප්‍රේමය තුළ මතුවන සැකසංකා හා දෙදරීම් මත පෙම්වතාගේ අතින් ඝාතනය වූ ප්‍රථම සරසවි සිසුවිය ඩිමාෂා ගයනිති නොවේ. මීට විසි වසරකට පෙර මධුවන්ති ගුණවර්ධන උපාධි අපේක්ෂිකාව ඝාතනය වූයේ කැලණිය සරසවි භූමිය තුළදීය.  ප්‍රේමය තුළ උද්ගතවන  අලකලංචි නිසා පෙම්වතා විසින් පෙම්වතියව ඝාතනය කිරීමේ සිද්ධි  එවකට අසන්නට ලැබුණේ නැති තරම්ය.

එබැවින්  මධුවන්ති ගුණවර්ධනගේ මරණය එදා රටේ  ඉමහත්  ආන්දෝලනයක් ඇති කළ ශෝකජනක සිද්ධියක් විය. එහෙත් මේ  වන විට ප්‍රේමයේ  විරහ වේදනාව, රැවටීම, ප්‍රතික්‍ෂේප වීම නිසා පෙම්වතා හෝ ප්‍රේමාරාධනා කළ තරුණයා විසින්  තරුණියන්ව  මරා දැමුණු කතා නිමක් නැත.

ඊට පාසල්  සිසුවියන්, සරසවි සිසුවියන්, සේවයේ යෙදී සිටින තරුණියන් පමණක් නොව රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ  ශිෂ්‍යාවක්ද විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාරිණියක්ද පිහි ඇනුම්වලට ලක්වූහ. මේ අනුව විමසා බලන කළ ප්‍රේමයේ වෛරයට භාජනය  වූ අයගේ තරාතිරමක් නැත. සැබැවින්ම මේ වන විට ප්‍රේමයෙන් පරාද වීම හෝ ප්‍රේමය   ප්‍රතික්‍ෂේප කිරීම ඝාතනයකින් අවසාන වන රැල්ලක් බවට පත්වී තිබේ.

රත්න ශ්‍රී විජේසිංහ පැවැත්වූ හරවත් දේශනයේ කාලීන වැදගත්කම මතුවන්නේ මෙවැනි  අවස්ථාවලදීය. මේ පිළිබඳව  රත්න ශ්‍රී විජේසිංහ  සමග තවදුරටත් සාකච්ඡා කරන්නට පෙළඹුණේ එම නිසාය.  ඔහු තම අදහස් දැක්වීම ඇරඹුවේ මෙසේය.



“ප්‍රේමය ප්‍රතික්‍ෂේප වීම නිසා හෝ ප්‍රේමයෙන් පරාද වීම නිසා පෙම්වතියන්ව මරන්න ගියා නම් මේ වන විට අපේ රටේ ජනගහනයෙන් භාගයක්ම නැහැ.  මොකද ප්‍රේමයෙන් පරාජය ලැබූ අය තමයි රටේ බහුතරයක් ඉන්නේ.  මනුෂ්‍යයෝ කාටත් විරහ වේදනාව, දුක, කෝපය වැනි ආවේගයන් දැනෙනවා. ඒත් ඒ ආවේගයන් පිට කර ගැනීම සිදු කළ යුත්තේ ඝාතනයකින් නොවේ. ගීතයක් හෝ කවියක් හෝ කතාවක් ලියලා ඒ ආවේගයන් මුදා හරින්න පුළුවන්. ඒ විදිහට ලියන්න බැරි නම් ගීතයක් ගායනා කරන්න පුළුවන්. ඒ ගීතය හෝ කවිය තමුන්ට ආරෝපණය කරගන්න පුළුවන්.

නන්නාඳුනන ලෙසින් මගතොට යළිත් හමුවෙලා - මහමෙර හිසින් දරාගෙන යමු අපි දුරස්වෙලා” වැනි ගීත ඛණ්ඩයක් ගායනා කරමින් සිය වේදනාව තුනී කර ගැනීමට හැකියාව ලැබුණේ නම් සබරගමුව පළාතේ පාසල් සිසුවකු වූ ජයතිලකත් එකී පාසල් දැරියත් අදත් හොඳින් ජීවත්වන්නට තිබුණා.

රත්න ශ්‍රී විජේසිංහ කලාකරුවා සිය මානව ආවේගයන් පිට කළ හැකි ක්‍රම 2ක් ඇති බව  පෙන්වා දෙයි. ඒ කලාව සහ ක්‍රීඩාව යන දෙඅංශයන්ය. ඕනෑම මනුෂ්‍යයෙකුට ප්‍රේමය, වේදනාව, පාළුව, කාමය වැනි විවිධාකාර හැඟීම්වලට මුහුණදීමට සිදුවේ. එය මනුෂ්‍ය  ස්වභාවයයි. මෙම හැඟීම් ක්‍රීඩාව හෝ කලාව හරහා  මුදාහැරීම සිග්මන් ‍ප්‍රොයිඩ් හඳුන්වා දී තිබෙන්නේ උත්කර්ෂණය යනුවෙනි. එයම ඇරිස්ටෝටල් විද්‍යාඥයා භාව විරේචනය ලෙස හඳුන්වා ඇත.

රත්න ශ්‍රී විජේසිංහ ගීත රචකයා තවදුරටත් පවසන්නේ අපට හමුවන  හොඳම  පෙම්වතා කුසරජු බවය. කුස රජු සිය පෙම්වතිය වන ප්‍රභාවතී දේවිය ලබා ගැනීම වෙනුවෙන් ප්‍රභාවතී දේවියගේ රජ මාලිගයට ගොස්  වළං සේදුවේය. කුඹල්  කර්මාන්තයේ යෙදුණේය. ආහාර කද ඔසවාගෙන ගියේය. මේසා බැල මෙහෙවරකම් කරමින් කුසරජු අපමණ දුක් වින්දේ සිය පෙම්වතිය ලබා ගැනීමටය. මෙම අවස්ථාවේදී කුසරජු ප්‍රභාවතී දේවියගේ නින්දා අපහාසවලටද භාජනය වූවාය.

එහෙත් සක්විති රජකු වූ කුස රජු කිසිම විටෙක සිය බලය යොදා ප්‍රභාවතී දේවිය  ලබා ගැනීමට උත්සහ කළේ නැත. කවිසිළුමිණ රචකයා සඳහන්  කළ පරිදි “කෙසේ දනිතිද දැන් සරතැස ඔහු තමාගේ .....” යනුවෙන් සිය දුක සංතාපය දරා  ගනිමින් කුසරජු ප්‍රේමය වෙනුවෙන් බැල මෙහෙවරෙහි යෙදුණේය.

ඒ හැර සිය රාජ්‍ය බලය, ආධිපත්‍යය යොදා ප්‍රභාවතී දේවිය ඇතුළු රාජධානිය විනාශ කිරීමට කුසරජු උත්සහ  කළේ නැත. කුසරජු හොඳ පෙම්වතෙකු බව ඔහු සඳහන් කරන්නේ එම නිසාය. සිය බල පරාක්‍රමය අනිසි ලෙස යොදන ඇතැම් වර්තමාන පෙම්වතුන්ට කුස රජු කදිම ආදර්ශයකි.

රත්න ශ්‍රී විජේසිංහ කලාකරුවා  පවසන්නේ, “මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න”, වැනි ගීත ඛණ්ඩ පෙම්වතුන් විසින් තමන්ට ආරෝපණය කර ගැනීම තුළින්  සරසවි පෙම්වතියන්ට ඛිෙදනීය ඝාතනවලට මුහුණ දීමට සිදුනොවන බවය. මේ අනුව “සිව් වසරක් තුළ පෙම් සිහිවටනය  නෙතු කඳුළක් වේවා”   “මින් මතු කිසිදා කිසිම සැඳෑවක අප නොම හමුවේවා .....” යනුවෙන් ගයමින්  මධුවන්ති ඝාතනය කළ සරසවි  සිසුවාටද සිය කෝපය, වේදනාව මුදා හරින්නට ඉඩ තිබිණි. එසේ වූවේ නම් අදටත් මධුවන්ති ගුණවර්ධන ජීවත් වන්නීය.

“මහගමසේකරගේ ගීත තරම් ප්‍රේමයේ විරහව ස්පර්ශ කළ ගීත තවත් නැහැ. “මළ ඉර බස්නා සැන්දෑ යාමේ ඔබගෙන් සමු ගන්නම් අඳුරට ඉඩදී අඳුරේ සැඟවී ඔබගෙන්  වෙන්වී මම යන්නම්” කියපු සේකර “සියුමැලි දෑතින් ඔබ හිස අතගා ඔබ නිදි කරවා මම යන්නම්” කියලා එහි සඳහන් කර තිබෙනවා. හැබැයි එතනදී ගීත රචකයා සිය පෙම්වතියව සදාකාලික නින්දකට පත්කළේ නැහැ. ඒත් අද බොහෝ පෙම්වතුන් සිය පෙම්වතියන්ව සදාකාලික නින්දේ සතපවනවා. එය කනගාටුවට කරුණක්. රටක ලොකු ඛිෙදවාචකයක්.” යනුවෙන් රත්න ශ්‍රී විජේසිංහ තවදුරටත් පවසයි.

ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ සිය අදහස් අප හමුවේ තබද්දී මා පාසල් වියේදී මුහුණදුන් අත්දැකීමක් මගේ මතකයට නැගුණි.

අප සමග එකම පන්තියේ ඉගෙනුම ලැබූ යෙහෙළියක් පෙම්වතෙකු ඇසුරු කළාය.  එහෙත් ඒ පිළිබඳව ඉව වැටුණු ඇගේ මව්පියෝ ඊට එරෙහි වූහ. අවසානයේදී මාගේ මිතුරිය ප්‍රේමයට නැවතීමේ තිත තැබුවාය. ඇයව හමුවීමට පෙම්වතා කොතෙකුත්  උත්සහ කළද ඒ සියල්ල ගඟට කැපූ ඉනි මෙන් ව්‍යර්ථ විය. අවසානයේදී ඔහු ඇයට ලිපියක් එවා තිබිණි.

එම ලිපිය කියවා හඬන්නට පටන් ගත් ඈ එය අපටද පෙන්වූවාය. එය අරඹා තිබුණේ “මා දයාබර ප්‍රියාවියේ ඔබ වෙත ලියනා අවසන් ලිපියයි මේ” යනුවෙනි. “අවසර නැත මට ඔබෙ අත ගන්නට.”, “සඳ මා හා සිනාසුණා තරු මා හා කතා කළා ඔබ මා හා සිනාසුණේ නැහැ ඔබ මා හා කතා කළේ නැහැ” වැනි ගීත කොටස් අන්තර්ගත  වූ එය ප්‍රේමණීය ලිපියක් විය. එය කියවූ අපගේ සිත්ද මොහොතකට සසල විය. මගේ මිතුරියගේ පෙම්වතා එදා ඇයව ඝාතනය කළේ නැත.  ඔහුගේ දුක් වේදනා විරහ ගීත කොටස් උපයෝගී කරගෙන ගීත කලාව හරහා මුදා හැර තිබිණි.

එහෙත් අද පෙම්වතුන් තුළ දක්නට නොලැබෙන්නේද මෙකී  ගුණාංගයමය. අද ප්‍රේමයේ මාධුර්ය බවක් දක්නට ලැබෙන්නේ නැත. ඒ පිළිබඳව කළ විමසීමකදී රත්න ශ්‍රී  විජේසිංහ පැවැසුවේ මෙවැන්නකි.

“එදා රොමැන්ටික් ගීත සිය හැඟීම්    පිටකර ගැනීමට  හොඳ පිටිවහලක් වුණා. ඒත් අද  වන විට ප්‍රේමයේ  මිහිර ආස්වාදනය කිරීමක් දක්නට ලැබෙන්නේ නැහැ. අද බොහෝ විට දක්නට ලැබෙන්නේ ප්‍රේමයේ ආස්වාදය විඳීම  වෙනුවට  කායික  ආස්වාදය විඳීම. මෙය හරිම භයානකයි. අද ප්‍රේමය යාන්ත්‍රික වෙලා. ගනුදෙනුවක් බවට පත්වෙලා. සමහර විට ජංගම දුරකථනය, කෙටි පණිවුඩ, ෆේස්බුක් වැනි දේවල් නිසා ඒ කා‍ලේ වගේ ප්‍රේමණීය ලියුම් ලියන්නේ නැහැ. ඒකයි මම කිව්වේ අද ප්‍රේමය යාන්ත්‍රික වෙලා කියලා.”

ඔහු පවසන්නේ අද වන විට ප්‍රේමය හුදු ආත්මාර්ථකාමී හැඟීමක් බවට පත් වී ඇති බවය. කවදත් ප්‍රේමය ආත්මාර්ථකාමීය. ආත්මාර්ථකාමී නොවන පරාර්ථකාමී ප්‍රේමය සොයා ගැනීම  නොමළ ගෙයකින් අබ මිටක් සෙවීම වැනිය. එහෙත් වර්තමානයේදී පෙම්වතුන් පෙම්වතියන් හැසිරෙන්නේ සිය පෙම්වතා හෝ පෙම්වතිය තමාට පමණක් හිමිවිය යුතුය වෙනකෙකු සතු වීමට ඉඩක් නැත යන දැඩි ආත්මාර්ථකාමීත්වයෙනි. අද වන විට   පෙම්වතුන් විසින්  පෙම්වතියන් ඝාතනය කිරීමේ රැල්ලක් නිර්මාණය වී තිබෙන්නේ එම නිසාය.

මෙවැනි සමාජ සංසිද්ධීන් නිසා  “රුචිරාණෙනී අහන්න එක පාර මා මරන්න” වැනි ගීත බිහි වූවාද එවැනි ගීත ඝාතන රැල්ලට අභිප්‍රේරණයක් වූවාදැයි  අපි නොදනිමු.  වර්තමානයේ පෙම්වතුන් සිය පෙම්වතිය වෙනකෙකුට අත්වන විටදී “ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය ඔබට ආදරේ කියනා අයුරින් පෙර දවසක මා පෙම් කරනා  සඳ මටද ආදරේ කියා තිබේ” යනුවෙන්  ගීත ගැයීමට සූදානම් නැත.  අද පෙම්වත්තු අවි අමෝරාගෙන සටනට බසිති.
මේ අවස්ථාවේදී 80 දශකයේදී ගුවන් විදුලියෙන් නිතර වාදනය වූ ගීතයක් මගේ මතකයට නැගෙනු ඇත.

 “ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස්ගසකට සමයි - බිඳුණුදා පූජාව    ප්‍රේමයේ ඔහුගේ ආගම වෛරයයි” යන්න එකී ගීතයයි. මෙම ගීතයට අනුව ප්‍රේමය වෙනස් වූ විට වෛරය මතුවන අයුරු කියාපානු ඇත.
“ප්‍රේමය කියන්නේ එකිනෙකාට අයිති කර ගැනීමක් හෝ එකිනෙකා සතුකර ගැනීමක්  නොවෙයි. ඒ අදහස කෙනෙකුට ඇතුළු වුණාම තමයි වෛරය ගැන මා මරන්න කියලා කියන්න හිතෙන්නේ.

ඒ නිසා ප්‍රේමය කියන්නේ මොකක්ද කියලා අවබෝධ කර ගැනීම ඉතා වැදගත්. ප්‍රේමය ගැන ඇති අනවබෝධය නිසා තමයි අද ප්‍රචණ්ඩකාරී සිදුවීම් වෙනනේ” යනුවෙන් රත්න ශී විජේසිංහ සඳහන් කළේ ප්‍රේමය කිමැයි යන්න පද්‍යයකින් විවරණය කරමිනි.

“ප්‍රේමය නම් අසෙනිය  කුසුමක් වේ
රිසි වූ කෙනෙකුට පූජා කරනට
ලෝබ සිතින් තොර පිදුව මනාවේ
පෙරළා කිසිවක් ආපසු නොගන්න”
(විලාසිනියකගේ ප්‍රේමය - මහාචාර්ය සරච්චන්ද්‍ර)