Saturday

පුතා අඬනකොට අපිත් ඇඬණවා - නිමන්ති

අම්මාට වඩා
පුතා
ඉක්මන් වුණා...

'ගහේ කටු උල් කරන්න ඕනෑ නෑ...' කියනවා වගේ පුංචි මෞලිට රඟපාන්න අමුතුවෙන් කියා දෙන්න අවශ්‍ය නෑ... අම්මගෙයි, තාත්තාගෙයි හැකියාව උපතින්ම මිට මොළවාගෙන ආව මෞලි ගැන ප්‍රේක්‍ෂකයො වුණු අපි විතරක් නෙවෙයි නිර්මාණකරුවොත් දැන් ඇහැගහගෙන ඉන්නේ...

මෞලි අම්මාට තාත්තාට විතරක් නෙවෙයි හැම අම්මෙක්ටම, තාත්තෙක්ටම ආදරේ හිතෙන තරමට දඟකාරකමක් ඇති හුරතලයක් ඇති කොලු පැටියෙක්, ඒ වෙන කවුරුත් නෙවෙයි.


නිමන්ති පෝරගේගේත්, ප්‍රභාත් රෝෂණගේත් පුංචි පුතා. ආකර්ෂා චිත්‍රපටයත් එක්ක මෞලි මතීෂ පතිරගේ ගැන කවුරුත් උනන්දු වෙනවා. අපිත් එයාගෙ අම්මාගෙන් මේ පුංචි හපනා ගැන ඇහුවේ ඒ නිසා.

අම්මාගේ අඩිපාරේ පුතාත් ගියා නේද?
ඔව්... හැබැයි පුතා අම්මාට වඩා ඉක්මන් වුණා.

ගමන ඉක්මන් වුණේ අම්මා නිළියක් වුණ නිසාද, තාත්තා කැමරා අධ්‍යක්‍ෂවරයෙක් සහ නිෂ්පාදකවරයෙක් වුණු නිසාද?
මං හිතන්නේ ඔය කාරණා කීපයම බලපෑවා... අපි සම නිෂ්පාදනය කරපු භාර්යාවෝ ටෙලි නාට්‍යයේ මගේ බාල පුතාට හිටියේ මෞලි. එතකොට එයාට අවුරුදු තුනයි. පුතාව ඒ චරිතෙට යෝජනා කළේ අධ්‍යක්‍ෂ සාරංග මෙන්ඩිස්මයි. පුංචි වුණාට මෞලි එයාට පුළුවන් විදියට චරිතෙට සාධාරණයක් කළා...

එතැනින් තමයි මෞලිගෙ රංගන ජීවිතය ඇරැඹෙන්නේ?
ඔව්නේ... ඊට පස්සේ උද්දිකත් එක්ක 'පිනි බිඳු' කියලා කෙටි චිත්‍රපටයක රඟපෑවා. ඒ රංගනය දැකලා තමයි මුතුපලසේ සාරංගගේ පුතාගේ පොඩිකාලෙට රඟපාන්න අවස්ථාව ලැබුණේ.

කොහොමද 'ආකර්ෂා' සමඟ සම්බන්ධ වෙන්න මෞලිට අවස්ථාව ලැබුණේ?
චරිත තෝරාගන්න සාකච්ඡා කරනකොට මෞලිගෙ නමත් යෝජනා වුණා. සුනෙත් මාලිංගයි, සමන් වීරමනුයි බොහොම කැමැත්තෙන් මෞලිව සූර්යාට තෝරාගත්තා.
'සූර්යා' ආකර්ෂා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක්. මේ අභියෝගය මෞලිගෙ පුංචි හිතට නොදැනුණාට ඔබට නොදැනෙන්න විදියක් නැහැ.
මම යෝජනාව ආපු වෙලේ ඉඳන්ම ඔය ගැන කතා කළා. ඒ රඟපෑම සංවේදී වෙන්න ඕනෑ... එක තැනක් තියෙනවා උසාවියෙන් පුතාව තාත්තට අයිති වෙන. ඒ වෙලාවෙ පුතා අම්මාව දාල එන්න බෑ කියලා අඬනවා... පිටපත කියවද්දිත් මට ඇඬුණා... ඒ කියන්නේ රංගනයේදී හැම අම්මෙක්ගෙම, තාත්තෙක්ගෙම ඇස්වලට කඳුළු එන්න ඕනෑ... මට බය තිබ්බෙ මෞලිට තාත්ත්විකව අඬන්න පුළුවන් වෙයිද කියලා. කිව්වට විශ්වාස කරයිද මන්දා චිත්‍රපටයේ රූගත කිරීම් ඉවර වෙනකන් මම හිටියේ පපුව ගැහි ගැහී. මගේ ප්‍රථම රංගනයේදිවත් ඒ වගේ තැතිගැන්මක් දැනිලා නෑ.

සූර්යාගේ අම්මයි තාත්තයි විරසක වුණාට මෞලිගේ අම්මයි තාත්තයි බොහොම සාමකාමීයි, ආදරණීයයි. එහෙම පසුබිමක මෞලිගේ රංගනය තාත්ත්වික වුණේ කොහොමද?
මම කිව්වේ අර අඬන දර්ශනය. මෞලි හරි බයයි අපි දෙන්නා වයසට යනවාට. ඒ වගේම එයාට දුකයි. අර සීන් එක ගන්න කලින් මමයි ප්‍රභාතුයි පුතාව පැත්තකට අරගෙන ගිහින් පුතේ අම්මයි තාත්තයි කවදාහරි වයසට යනවා... එහෙම කියනකොටම අනේ අම්මී වයසට යන්න එපා... කියලා ඊට පස්සේ ප්‍රභාත් අඬන්න මූණ හදාගත්තා... පුතේ අපි වයසට යන්නෙ නෑ... දැන් යසස් අංකල් පුතාව අරන් යනකොට පුතා අම්මයි තාත්තියි වයසට ගියා කියලා හිතලා අඬන්නකෝ... කියලා කිව්වා. එහෙම කිව්වට අපි දෙගිඩියාවෙන් හිටියේ... ඒත් අපි කාටවත් හිතාගන්න බැරි විදියට තාත්තා උසාවියෙදි අම්මාගෙන් සූර්යාව අරන් යනකොට අම්මා ඕනෑ... කියල පුතා ඉකි ගගහා ඇඬුවා... ඒ අඬපු හැටි බලන් හිටපු අපි හැමෝටම ඇඬුණා... මම දුකටයි, සතුටටයි දෙකටම ඇඬුණා... මම දැක්කා කැමරාව දිහා බලාගෙන ප්‍රභාතුත් අඬනවා...

ඒ කියන්නේ මෞලි අභියෝගය ජයගත්තා?
හිතුවාටත් වඩා සාර්ථකව.


අම්මයි තාත්තටයි ආඩම්බර ඇති?
ඒක ආඩම්බරකමක්ද කියන්න නම් දන්නෙ නෑ... ඒත් සතුටුයි.

චිත්‍රපටයේ මෞලිගේ අම්මා 'අචල් සිං' තාත්තා යසස් රත්නායක. කොහොමද මේ දෙන්නා එක්ක මෞලිගේ ගනුදෙනුව?
ඒ දෙන්නා තමයි මෞලිගේ හොඳම යාළුවෝ... ආචල්ට සිංහල ඉගැන්නුවේ මෞලි... ඒ විතරක්ද මෞලිගේ හොඳම යාළුවා යසස්. කොයි වෙලෙත් යසස් අංකල් කියාගත්ත ගමන්මයි... සෙට් එකේ කට්ටිය දෙන්නාට කිව්වෙ ඕඥඵබ ජ්පඪඥදඤඵලා කියලා.

තාම මෞලිට අවුරුදු හයයි. නිමන්ති කැමැතිද මෞලි මෙච්චර පුංචි වයසකින් කාර්යබහුල නළුවෙක් වෙනවාට?
නෑ... පොඩ්ඩක්වත් නෑ... කොහොමත් මම කවදාහරි මෞලි වෘත්තීය නළුවෙක් වෙනවටත් කැමැති නෑ...

එහෙනම් රංගනයට යොමු කළේ?
වුවමනාවෙන් කරපු දෙයක් නෙවෙයි. එතැනට ගියහම අවස්ථා ලැබෙනවනේ. අනෙක් එක මෞලි සම්බන්ධ වුණු හුඟක් නිර්මාණ අපේ ප්‍රඩක්ෂන්. නැත්නම් සමීප හිතවතුන්ගේ. ඒත් දැන් නම් මම ඒවාට සීමා මායිම් දානවා. මොකද ඉගෙන ගන්න වයසේ ළමයි ඉගෙනුමට යොමු කරන්න ඕනෑ.

අපි පුතා ගැන කතා කළානේ... අම්මාගේ කලදවස ගෙවෙන්නේ කොහොමද?
දැන්නම් ටිකක් විවේකයෙන් ඉන්නවා. පහුගිය දවස්වල මෞලි එක්ක ෂූටින් ගිහින් මට මහන්සියි.

හෙට අනිද්දට මෞලිගෙ තනියට එක්ක එන්නේ මල්ලියෙක්ද නංගියෙක්ද?
මෞලි බලාගෙන ඉන්නෙ නංගියෙක් එනකන්. බලමු නේද මෞලිගේ බලාපොරොත්තු ඉටුවෙයිද කියලා...

ඒ කියන්නේ මෞලි පාළුවෙන් ඉඳලා තියෙන්නේ?
එයා නංගි එනකන් ඉන්නේ එයාගේ ඩ්ධථඥ එධපඬ ටික කරගන්නලු.

හිමේෂා සවන්තී රාජපක්‍ෂ