Thursday

මල්වර වෙන්නත් කලින් විවාහ යෝජනා ආවා


කොණ්ඩ කරල් දෙකක් ගොතාගෙන ලස්සන හිනාවකින් මූණ පුරෝගෙන පාසලේ දුව පැනපු පුංචි කෙල්ල ලොකු අයියලා අක්කලගේ හුරතල් බෝනික්කි වුණා. 

ඒ හුරතල් කෙල්ලගේ හැඩකාර රුව ගැන කිව්ව අනාවැකි නම් සැබෑ වෙන්න මහා කාලයක් ගියේ නෑ. කාලය කොච්චර වේගෙන් ඉගිළුණත් එදා හැඩකාරි තාමත් හැඩකාරයි. තාමත් හැඩකාර රුවක් හිමි ඒ වාසනාවන්තිය සුසන්තා චන්ද්‍රමාලියි.

ඔබේ රූපය වෙනත් අය අගය කරලා තියෙනවද?
අගය කරපු අය එක් කෙනෙක් දෙන්නෙක් නෙවෙයි ඕන තරම් හිටියා.


ඔය අගය කිරීම්වලින් වඩාත්ම හිතගත් අගය කිරීම මොකක්ද?
පුංචි කාලේ ඉඳලම එක එක අය මගේ රූපේ ගැන කතා කළා. පාසල් කාලේ අපේ ගමේ මම කැපී පෙනෙන චරිතයක් වුණා. අපේ පවුලේ අය කොහොමත් පෙනුම නිසා මට ඒ පෙනුම ලැබිලා තිබුණා. 1986දී මාතලේ යොවුන් කුමාරිය වුණේ මම. එක්කෙනෙක් දෙන්නෙක් මට ලස්සනයි කියනවට වඩා ඒක විශේෂ වුණා.

ඒ ඔබේ රූපය උරගා බලපු පළමුවැනි අවස්ථාවද?
ඔව්. ඒකත් මට අහම්බයක්. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කරන්න කෙනෙක් හිටපු නැති නිසා මට තරගයට ඉදිරිපත් වෙන්න සිද්ධ වුණා. මම කිව්වා මම පරාද වෙයිද දන්නෑ කියලත්. ඒත් මහානාම සර්ගේ බල කිරීමට මම ඉදිරිපත් වුණා. ඒ වගේම ජයග්‍රහණය කළා.



ඔය වගේ අගය කිරීම් ලැබෙනකොට ඔබටත් ඔබේ රූපේ විශේෂයක් දැනුණද?
මම පාසල් යන පුංචි වයසේ ඉඳලම අපේ ඉහළ පන්තිවල අයියලා, අක්කලා මාව දැක්කම වඩා ගන්නවා. ඒ කාලේ එයාලා කියලා තියෙනවා මම ලොකු වුණාම හැඩට ඉඳියි කියලත්. මට ඒවා කියනකොට ලැජ්ජයි. ඒත් ඒ කාලෙම මට හිතුණා මගේ රූපේ විශේෂත්වයක් ඇති කියලා.

අගය කිරීම් වැඩි වෙනකොට ආඩම්බර චරිතයක් වුණේ නැද්ද?
කවදාවත් මම ආඩම්බරයි කියලා කවුරුත් කියලා නෑ. මම ඕන කෙනෙක් එක්ක හිනාවෙලා කතා කරනවා. රූපය තාවකාලිකයිනේ. ඒ නිසා අපි නැති වෙලා ගියාම මොනවා ගැන ආඩම්බර වෙන්නද? මම මගේ තියෙන කිසිම දෙයක් ගැන සන්තෝෂ වුණා මිසක ආඩම්බර වුණේ නැහැ.

ලස්සන කෙල්ලව පරිස්සම් කරන්න අම්මා, තාත්තා මහන්සි වෙන්න ඇති?
මම ලොකු ළමයෙක් වෙන්න ඉස්සර ඉඳලම එක එක කෙනාගෙන් මට යෝජනා ලැබුණා. එහෙම එකක් ඇහුවම නම් මට මාරයා ආවේශ වෙනවා. මම ගෙදර වැඩිමලා නිසා මට වගකීම් සම්භාරයක් පැවරිලා තිබුණා. මම යන පාරේ මගේ සහෝදරයොත් යන නිසා මට බොළඳ වැඩ කරන්න හම්බ වුණේ නැහැ. කොහොමත් මගේ අම්මා තාත්තා මම ගැන ඒ විශ්වාසය තියලා තිබ්බා.

හැමෝගෙම අවධානය තිබ්බ ඔය රූපෙ ලස්සන කරන්න ඒ කාලේ හරි හරි දේවල් කරන්න ඇති නේද?
මම යොවුන් කුමාරි තරගයට ගියෙත් ලිප්ස්ටික් ටිකක්වත් නොගා. චාරුලතා ටෙලි නාට්‍යයට මාව හොයාගෙන විජය ධර්ම ශ්‍රී , ලාල් හරින්ද්‍රනාත්, බන්දුල වීරක්කොඩි, සෝමපාල ලැනරෝල් අපේ ගෙදර ආවා. එයාලා තමයි මට කිව්වේ ක්‍රීම් එකක් එහෙම පාවිච්චි කළා නම් හොඳයි කියලා. මට එතකොට හිනාත් ගියා. මම කවදාවත් ඒවා පාවිච්චි කරලා තිබුණේ නැහැ. හැබැයි ටික කාලයක් යනකොට මම බේබි ක්‍රීම් එකක්ද කොහෙද පාවිච්චි කළා. දැන් නම් ඉතින් බොහොම සාමාන්‍ය විදියට මේක් අප් සහ වෙනත් රූපලාවණ්‍ය ආලේපන මම පාවිච්චි කරනවා. හැබැයි මම කොහොමත් රූපලාවණ්‍ය පස්සේ හඹා යන්නේ නෑ.



ලස්සනට ඉන්න නම් ඇඳුම් පැලඳුම් ගැනත් හිතන්න ඕන නේද?
මම හරිම චාම් විදියට ඇන්දේ. ඒ කාලේ හැමෝම අඳිනවා නම් බෝරිච්චි අත දාපු ගවුම් අපේ අම්මා ඒක අපිට මහලා දෙනවා. ඒක ඉතින් අඳිනවා. රඟපාන්න ආවට පස්සේ කොළඹ එක එක විලාසිතා තිබ්බා. ඒත් මම ඒ විලාසිතා කරන්න බයයි. ඒවා මට ගැළපෙයිද දන්නෑ කියලා. මට මතකයි ඒ කාලේ මම එක උත්සවයකට ගිහින් ඉන්නකොට පිරිමි ළමයි වගයක් මාව වටකරගෙන කිව්වා ඔයා කලිසම් අඳින්න එපා චාම් කෙල්ලෙක් අපි ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. මාව ඒ වෙලාවේ රත් වුණා. එදා ඉඳන් කාලයක් මම කලිසම් ඇන්දෙත් නෑ.

ඔබේ රූපය ක්‍ෂේත්‍රයට ගැළපෙනවා කියලා කවුද යෝජනා කළේ?
මගේ නැන්දා කෙනෙක් නක්‍ෂත්‍රය ඉගෙන ගෙන තිබුණා. හිච්චි නෝනා කවදාහරි හොඳ නිළියක් වෙනවා කියලා තමයි එදා කිව්වේ. ඊට පස්සේ යොවුන් කුමාරි තේරුණාට පස්සේ රූපවාහිනී වැඩසටහනක ප්‍රධාන අමුත්තිය විදියට ගිය වෙලාවේ එතන තිලකා රණසිංහ අක්කත් හිටියා. තිලකා අක්කා ගෙදර ගිහින් ඩග්ලස් අයියට කියලා තියෙනවා ඔයා හොයපු රූපේ මට හම්බුණා කියලා. එදා මගේ විස්තර හොයාගෙන තමයි ඩග්ලස් රණසිංහ මහත්මයා මාව රන්මසු උයනට සම්බන්ධ කරගත්තේ.

ඔබේ රූපය ලස්සනටම දැක්ක නිර්මාණය මොකක්ද?
මම මාව මුලින්ම ටෙලිවිෂන් එකේ දැක්කේ චාරුලතා නාට්‍යයේ. අනේ මේ මම නේද කියලා හිතුණා. ඒ වගේම හැම නිර්මාණයකම මාව යම්කිසි විදියක ලස්සනකින් දැක්කා. හැබැයි කන්දේ ගෙදර සහ චරිත තුනක් ටෙලි නාට්‍ය දැන් බලනකොට මට මගේ රූපේ ගැනම ලෝබ හිතෙනවා.

ගමේදී රූපලාවණ්‍ය ගැන අවධානයක් නොතිබ්බට රඟපාන්න ඇවිත් මේක් අප්වලින් මුහුණ වහගන්න වුණා නේද?
රූපගත කිරීම්වලදී රූපලාවණ්‍ය පාවිච්චි කරන්න වුණා. මේක් අප් එක මට කරදරයක්. රූපගත කිරීම්වලදී පැක් අප් කියපු ගමන් මම මේක් අප් අයින් කර ගන්නවා. මම සාමාන්‍ය ජීවිතයෙදී රූපලාවණ්‍ය නිෂ්පාදන වැලඳගෙන නැහැ. මම කැමැති සරල විදියට ඉන්න. කඩේට ගියත් මේක් අප් දාගෙන යන පිස්සුවක් නම් මට තාම නැහැ.



ඔබේ රංගන ජීවිතය දිහා හැරිලා බලනකොට ඔබේ රූපෙන් අධ්‍යක්‍ෂවරු ප්‍රයෝජන ගත්තා කියලා හිතනවද?
කලාකරුවෙක්වත්, මනුෂ්‍යයෙක්වත් කිසිම දේකින් සෑහීමකට පත්වෙන්නේ නෑ කවදාවත්. ඒක මටත් තියෙනවද දන්නෑ. මට හිතෙන්නේ කිසිම කෙනෙක් කලා ලෝකයට මගේ රූපෙන් හරියට ප්‍රයෝජනයක් අරන් නැහැ.

චාරුලතා ටෙලියෙන් කලඑළි බැහැපු කාලේ ඔය රූපෙට ප්‍රේක්‍ෂක ප්‍රතිචාර නොතිබ්බා වෙන්න බෑ?
ඔව්. ඒ නිර්මාණයේ මම හරි අහිංසක චරිතයක්. මිනිස්සු මාව දැක්කෙත් ඒ අහිංසක චරිතය විදියටමයි. ඒ නාට්‍ය කාලේ මට දහස් ගාණක් මංගල යෝජනා ආවා. හැබැයි ඉතින් ඒ වෙනකොටත් මම කුමරුගේ පෙම්වතිය වෙලා ඉවරයි.

එදා ඔබේ පෙම්වතා අද ඔබේ සැමියා "කුමරු" ඔබේ රූපෙට විශේෂත්වයක් දැක්වුවද?
එයා මට එයාගේ යෝජනාව කිව්වේ මම ගැන මුලින් හැමදේම දැනගෙන නෙවෙයිනේ. රූපයනේ ඉස්සෙල්ලාම එයාට පෙනුණේ. ඒ නිසා රූපෙ හින්දා ඒ අදහස එන්න ඇති කියලා තමයි මට හිතෙන්නේ. හැබැයි එයා මගේ රූපෙ ගැන හිතෙන දේවල් කතා කරන්න ලැජ්ජයි.

ටිකින් ටික තාරුණ්‍යය ගෙවිලා. දැන් මොකද හිතෙන්නේ?
ඒක ස්වභාවධර්මය. මගේ නිසි වයසෙදි හැම දෙයක්ම ඉෂ්ට වෙලා තියෙනවා. ඒ නිසා මට පසුතැවෙන්න දෙයක් නෑ. සුසන්තා චන්ද්‍රමාලි කියලා මාව තාම කවුරුත් අඳුරනවා. මගේ තාරුණ්‍යය ගෙවිලා ගියේ නැත්නම් අද මගේ දුව මෙතැන ඉන්නේ කොහොමද? සමහර අයට තමන්ගේ කාලය වියැකුණාම ඒක ඉවරයි. ඒත් මම ජනප්‍රිය කාලෙම මගේ දුවත් එතැනට ඇවිත් ජනප්‍රියයි. ඒක අම්මා කෙනෙක්ට ලැබෙන ලොකු අවස්ථාවක්. මට ඇය දිහා බලලත් සතුටු වෙන්න පුළුවන්. ඇත්තටම මට මගේ වයස මතක් වෙන්නෑ.

ලොකු දුවෙක් ඉඳලත් අම්මා තාම ලස්සනයි කියලා ප්‍රතිචාරත් ලැබෙනවා ඇති නේද?
අනන්තවත් ප්‍රතිචාර හම්බෙනවා. මගේ පෙනුමට සහ මම මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන විදියට ගොඩක් අය කැමැතියි. ඔයා තාම ලස්සනයි, මෙච්චර ලොකු දුවෙක් ඉන්නවා කියලා කියන්නත් බෑ කියලා ගොඩක් අය කියනවා. ඒක මාව සතුටු කරන්න කියන දෙයක්ද කියලත් හිතෙනවා. මා කණ්ණාඩියෙන් දැක්කමත් පරණ මගේ හිතවත් අය දැක්කමත් කියනවා මගේ රූපේ මහා ලොකු වෙනසක් වෙලා නෑ කියලා.

තාරුණ්‍යය වියැකිලා යන නිසා දැන් නම් රූපේ ලස්සනට තියා ගන්න මුකුත් නොකරනවා වෙන්න බෑ?
රූගත කිරීම්වල පාවිච්චි කරන ලයිට් අපේ හමට සැරයි. අනිත් අයට වඩා අපේ හම ඉක්මනට වේළෙන්න බලනවා. අපි කවුරුත් කැමැතියිනේ ලස්සනට ඉන්න. මම එක පාරට ආච්චි අම්මා කෙනෙක් වගේ වෙන්න කැමැති නෑ. මිනිස්සු මට ආදරය කරන නිසා මට ඕන විදියට මාව පැත්තකට දාන්න බෑ. ඒක නිසා අයියෝ අරයගේ හැටි කියලා ප්‍රේක්‍ෂකයෝ මට නොකියන්න මට පුළුවන්තාක් කාලයක් ඉන්න ඕන. ඉතින් ඒක නිසා වයසට යන්න යන්න තියෙන දේ තව කාලයක් රඳවා ගන්න යම් යම් දේවල් කරනවා.

තාමත් හැඩට ඉන්න ඒ රහස ගැනත් කියමු?
කෑම බීම ගැන මම හරියට පරිස්සම් වෙනවා. ගුණ ජාති තමයි කැවෙන්නේ. තෙල් කෑම වර්ග කැවෙනවා අඩුයි. ආස හිතුනම නම් ඒ දේවල් කනවා. ඔය හැමදේටම වඩා බොහොම නිරවුල් මනසක් තිබීම තමයි වැදගත්. මම තාම ලස්සනයි නම් ඒ රහස තමයි නිරවුල් මනස. මගේ පවුලෙන් ලැබෙන සහයත් එක්ක තමයි මට මගේ මනස නිරවුල්ව තියාගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම ඒ නිසා මම වාසනාවන්තයි.

තිළිණි කෞෂල්‍යා විජේසිංහ