Sunday

අපේ කපුකම කළේ අත්තම්මා

පුංචිතිරයේ දිගහැරෙන "මලී 2 අත්තම්මා" ටෙලි නාට්‍යයෙහි මලී ලෙස රඟන උදාරි කෞෂල්‍යා උදයකුමාර් පසුගිය දිනෙක විවාහ ගිවිස ගත්තා.

ඒ එම නාට්‍යයෙහිම රඟපාන සංගීත් සතරසිංහ නම් තරුණ රංගන ශිල්පියා සමඟයි. මේ ඒ ගැන ඇයත් සමඟ කළ කතාබහයි.

කොහොමද උදාරි, මොනවද මේ දවස්‌වල කරන්නේ?


බොහොම හොඳින් ඉන්නවා. ඒ අතරේ "මලී 2 අත්තම්මා" ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. තවත් අලුත් නාට්‍යකටත් රංගනයෙන් දායක වෙලා ඉන්නවා. ඒ ගැන ඉදිරියේදී දැනගන්න ලැබේවි. දෙරණ Juck box වැඩසටහන සඳහා නිවේදිකාවක්‌ ලෙසත් කටයුතු කරමින් සිටිනවා.

ටෙලි නාට්‍ය රංගනයට දායක වෙන්න අවස්‌ථාව ලැබුණෙ කෙසේද?

එය බොහොම අහම්බෙන් සිදුවූ දෙයක්‌. පසුගිය වසරේ වෙසක්‌ කලාපය සඳහා "තරුණි" පත්තරයෙහි මගේ ඡායාරූපයක්‌ පලවුණා. එය දැක තමයි ජානක සිරිවර්ධන මහත්තයා මට "අත්තම්මා" ටෙලි නාට්‍යය සඳහා රඟපෑමට කතා කළේ.

නවක නිළියක්‌ ලෙස ක්‍ෂේත්‍රයේ සිටින අනිකුත් නළු නිළියන්ගෙන් ලැබෙන සහයෝගය කෙසේද?

ගොඩක්‌ ලොකු සහයෝගයක්‌ ලැබෙනවා. වටිනා උපදෙස්‌ ලැබෙනවා. ඒ ලැබුණු උදව්වත් සමඟ තමයි මම මේ දක්‌වා රංගන කටයුතු කරගෙන යන්නේ.


පසුගිය දවසක ඔබේ විවාහ ගිවිස ගැනීම සිදුවුණා. කලා ක්‍ෂේත්‍රයට පැමිණි අලුතම ඔබ එවැනි දෙයක්‌ ගැන සිතුවෙ ඇයි?

විවාහය නිසි වයසෙදි සිදුවිය යුතුයි. මට මගේ පෙම්වතාව හමුවුණොත් ටෙලි නාට්‍ය රංගනයට පැමිණි පසුයි. ඒ ඔබ සැමදෙනාම හඳුනන අත්තම්මා නාට්‍යයේ මා සමඟ රඟපාන සංගීත් සතරසිංහයි. මා මෙන්ම ඔහුත් මෑතකදී ක්‍ෂේත්‍රයට පැමිණි අයෙක්‌. සුදුසු කෙනා ලැබුණා කියලයි මට හිතනේනේ.

ඔබේ විවාහ ගිවිස ගැනීමේ ආරංචියත් සමඟ රසික රසිකාවියන්ගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ඉතා ඉහළයි.මට වගේම සංගීත්ටත් විශාල රසික පිරිසක්‌ සිටිනවා. අප දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීමත් සමඟ හිටියටත් වඩා රසික රසිකාවියන් පිරිසක්‌ දැන් අප වටා සිටිනවා. ඔවුන් අපට ආදරණීය ආශිර්වාදයක්‌ වෙලා.

ඔබ දෙදෙනාගේ විවාහ උත්සවය පැවැත්වීමට බලාපොරොත්තු වන්නේ කවදාද?

එය ලබන වසරේ ජනවාරි මාසයේදී සිදුකිරීමට නියමිතයි. අලුත්ම විදිහකට වෙනස්‌ අත්දැකීම් රැසක්‌ එක්‌කර ගනිමින් එය සිදුකිරීමට තමයි අප දෙදෙනාගේම බලාපොරොත්තුව.

විවාහයෙන් පසුව ඔබගේ රඟපෑම් කටයුතු කොහොමද?

මේ ලෙසම තමයි. එහි වෙනසක්‌ නැහැ. රඟපෑම දිගටම කරගෙන යන්න අප දෙදෙනාම හිතාගෙන ඉන්නවා.

ඔබේ පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කෙසේද?

මගේ අම්මා, තාත්තා, නංගී සහ මල්ලීගෙන් විශාල ලෙස උදව් මට ලැබෙනවා.මගේ රඟපෑම් ගැන ඒ අය තමයි ගුණදොස්‌ කියන්නේ. ඒ වගේම දැන් තවත් මගේම පවුලක්‌ මට ලැබිලනෙ තියෙන්නේ. සංගීතගේ අම්මයි, තාත්තයි දෙන්නාත් මට හරිම ආදරෙයි.

ඉදිරි කාලයේදී ඔබ විදේශගතවීමට සූදානමක්‌ තිබෙනවද?

එහෙම අදහසක්‌ තිබුණා. මට විතරක්‌ නොවෙයි සංගීත්ගෙත් එහෙම අදහසක්‌ තිබුණා. ඒ රංගනය පිළිබඳව වැඩිදුර ඉගෙන ගැනීම සඳහා යොමුවන්නයි. නමුත් මේ වනවිට ඒ ගැන නිශ්චිතවම කිසිවක්‌ කියන්නට බැහැ. විවාහයෙන් පසුව ඒ ගැන තව ටිකක්‌ හිතන්න වෙනවා.

ගනීෂා අමාලි