Thursday

ඉස්සර නම් ආදරේ කරන්න බයයි... දැන් නම් හොඳට පුරුදුයි

තුර්යා ගෙන එන ටිකිරි සඳුනි පතිරණගේ

ඈත තියාම මම ටිකිරිව හඳුනා ගත්තෙමි. අරලිය මල් සිප ගත් බොරළු පාර දිගේ ඇගේ සුකොමල දෙපා එස වෙන්නේ රිද්මයකය.

අනුහස්ට තෑග්ගක් ගේන්න ගියා. හෙට එයාගේ උපන් දිනේනේ.

අත තිබූ පාර්සලය ටීපෝව මත තබමින් ඇය දිගු සුසුමක් හෙලීය.


* කෝ දැන් අනුහස්?

එයා කොහෙට හරි ගිහින් ඇති. අනුහස් එනකම් ඉන්නවද නැත්නම් . . .

නෑ. මං කලින් දවසක අනුහස් එක්ක කතා කළා. අද ඔයාගේ වාරේ.

අහන්න අයියෝ ඕනෑ දෙයක්?

* සඳනි පතිරණගේ කියන ඔයාගේ ඇත්ත නම තාවකාලිකව අයින් කරලා කවුද ඔබව ටිකිරි කළේ?

ඒකට දෙන්නෙක් වග කියන්න ඕනෑ. එක් කෙනෙක් රවීන්ද්‍ර විජේරත්න. අනෙක් කෙනා තරංග දිසානායක.

* කොහොමද ඔබට ඔවුන්ව හමුවන්නේ?

නාට්‍ය ක්ෂේත්‍රයේදීම තමයි. මං පෙර රඟපාපු යාය හතර, තරු කුමරි, වස්සාන සිහිනය, සද්ගුණාකාරය වැනි ටෙලි නාට්‍ය ඒ අය දැකලා තියෙනවා. තරංග අයියාගේ ආරාධනයෙන් සඳ පිණි බිඳක නාට්‍යයට සම්බන්ධ වුණා. එයින් අනතුරුවයි තූර්යා හී ටිකිරි සඳහා මා තෝරා ගත්තේ.

* ඔබව වඩාත් ජනප්‍රිය කළේ ටිකිරි?

සත්තකින්ම.

* සඳනි ක්ෂේත්‍රයට එකතු වෙන කොට බොහොම පුංචි දැරියක්?

ඔව්. පුංචි කාලෙ නම් වැඩිපුරම රඟපෑවේ ඇඩ්ස්වල. අර චොකලට් මාරි ඇඩ් එක මකතද? ඒකෙ හිටියෙ මං. ඒ කාලේ නාට්‍යවලට වැඩිය කතා නොකළට ඇඩ්ස්වලින් නම් අඩුවක් තිබුණේ නැහැ. පළමු නාට්‍ය වුණේ තරු කුමරි.

* සඳනිගේ පාසල මොකක්ද?

නුගේගොඩ අනුලා විද්‍යාලය.

* පාසලෙන් තහංචි එහෙම ආවෙ නැද්ද ඔබේ රංගන කටයුතුවලට?

ඒ ගැන නම් කිව යුතුමයි. කවදාවත් පාසලෙන් රඟපාන්න නම් එපා කියලා නැහැ. අපේ ඉස්කෝලෙන් කලාකාරිණියන් රැසක් බිහි වුණානේ. ඉතින් කලාවට ළැදි අයට අප පාසලෙන් හොඳ සහායක් ලැබෙනවා.

* ඔබට නිළියක් වන්නට ආස හිතුණේ ඇයි?

යශෝධා විමලධර්ම අක්ක රඟපානවා මං පුංචි කාලේ ඉඳලා දැකලා තියෙනවා. ඇය මා තුළ රංගන හීනයක් ඇති කළා කිව්වොත් මා නිවැරැදියි.

* ඒ කියන්නේ ඔබ කවදා හරි ඇය වගේ දක්ෂ නිළියක් වෙනවා?

නැහැ.

* එහෙනම්?

තව වසර කිහිපයකින් මං රංගනයෙන් ඉවත් වෙනවා. මං මේක පුවත්පතකට හෙළි කළ පළමු වතාවයි මේ.

* හේතුව?

මට ඕනෑ ගුරුවරියක් වෙන්න.

* ඒ සඳහා ඔබ පුහුණු වෙනවාද?

ඔව්. විවෘත විශ්ව විද්‍යාලයේ ටීචිං පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරනවා.

* ගුරුවරියක් වන්නේ කාට උගන්වන්නද?

පුංචි ළමයින්ට. මොන්ටිසෝරිවල පැටව් ඉන්නේ, අන්න එයාලට.

* සඳනි වටා ඉන්න ප්‍රේක්ෂකයන්ට දුක හිතේවි මේ කතාව අහලා?

හරි හරි. දැන්මම ඉවත් වෙන්නේ නැහැනෙ. තව අවුරුද්දක් දෙකක් තියෙනවනේ.

* ගුරුවරියක් වුණාට පස්සේ රඟපාන්න පුළුවන්නේ. වෘත්තියෙන් ගුරුවරු වන අප නළු නිළියෝ ඕනෑ තරම් ඉන්නවානේ?

මට බයයි කාලය කළමනාකරණය කරගන්න බැරි වෙයි කියලා. ඔවුන් තරම් මං දක්ෂ නැහැ. බැරි වෙලාවත් රඟපාන්න ගිහින් ගුරු වෘත්තියට සාධාරණයක් කරන්න බැරි වුණොත් . . .

* රංගනයෙන් අයින් වුණාට පස්සේ ඔබට දුක හිතෙයි?

දුක විතරක් නෙවෙයි ලෝබත් හිතෙයිි. ඒත් මං මගේ තීරණය අරගෙන ඉවරයි.

* ක්ෂේත්‍රය ගැන කලකිරිල ද ඉන්නේ?

කොහෙත්ම නැහැ.

* ඔය නැහැ කිව්වට පුංචි හෝ හිත රිදිමක් හරි වෙලා ඇති?

හිත් රිදීම් නම් වෙලා තියෙනවා. හැබැයි ක්ෂේත්‍රය එපා වෙන්න තරම් ඒවා දුර දිග ගිහින් නැහැ.

* ඒ වගේ වෙලාවන්වලදි මොකද කරන්නේ?

අම්මට කියලා දුක තුනී කර ගන්නවා.

* ඉස්සර සඳනි කැමරාව ඉස්සරහ ආදරය කරන්න බයයිලු නේද?

ඉස්සර නම් බයයි. දැන් චණ්ඩියා.

* ඒ කිව්වේ?

මට මුල් දවස්වල ලව් සීන්ස් කරන්න බැහැ. තූර්යාහි මගේ සැමියා එහෙමත් නැත්නම් අනුහස් විදිහට රඟපාන මාධව විජේසිංහ අයියාත් එක්ක තමයි හා හා පුරා කියලා ආදර ජවනිකාවකට පෙනී සිටියේ. ඒ වස්සාන සිහිනය ටෙලි සිතුවමේ. ගැහි ගැහී මාධව අයියගෙ අතින් ඇල්ලුවා. දැන් නම් හොඳට පුරුදුයි ආදරේ කරන්න. හැබැයි කැමරාව ඉදිරියේදී විතරයි.

* ඔබ ඔය නොකියා කියන්නේ තවමත් පෙම්වතකු නැහැ කියලාද?

තවම නෙවෙයි. තව කාලාන්තරයක් යනතුරු ආදරවන්තයෙක්ව ළං කර ගන්නේ නැහැ.

* ආදරයට බයයිද?

බයක් නෙවෙයි. මගේ ගුරු හීනය සැබෑ කරගන්න ඕනෑ. ඊට පස්සේ බලමු. අනික මං තවම පුංචියි. මං 1993 ඉපදුණු කෙනෙක්.

* නළුවන්ගෙන් ආදර සම්බන්ධවලට ආරාධනා ඇවිත් ඇති?

එහෙම කියන අය අඩුයි. කලා ලොවේ කෙනෙක් නැතුව වෙනත් ක්ෂේත්‍රයක කෙනෙක් තමයි මගේ ආදරවන්තයා හැටියට තෝරා ගන්නේ.

* සඳනිගේ පවුලේ පිරිවර ගැන මතක් කළොත්?

අම්මයි, තාත්තියි, නංගියයි.

* මට ආරංචි වුණා තූර්යා දර්ශන කලයේදී ඔබ පිටුපසින් සුනඛයකු එලවගෙන ආවා කියලා?

අනේ බලන්නකො වෙච්ච වැඩේ. ඌ මං එනකම් හොඳට පැත්තකට වෙලා ඉඳලා තියනවා. මාව දැකපු ගමන් පස්සෙන් පන්නන්න ගත්තා. මම හයියෙන් දිව්වා ගෙවල් පැත්තට. ඌත් හයියෙන්ම එලවගෙන එනවා. මං දුවගෙන දුවගෙන ඇවිත් ගේට්ටුවෙන් පැනලා තමයි උගෙන් බේරුණේ. එදා නම් මම පුදුම විදිහට බය වුණා.

* සඳනිගේ ලිපිනය සඳහන් කරමු? එතකොට ඔබට ලියන්න හැකි වේවි ඔබේ රසිකයින්ට.

15/6/ඒ, සමුද්‍ර දේවි මාවත නුගේගොඩ.

සටහන – ප්‍රසාද් සමරතුංග

සේයාරුව - නිරෝෂ් ප්‍රියංක බටේපොළ