Saturday

මාලනී-සම්පත් කාමරයේ ඇඳ උඩ

ඇඳ උඩ ඉන්න
ප්‍රේමාතුර දර්ශනයට
වඩා ඒ දර්ශනය 
ප්‍රබල වුණා......

දුක, සතුට, ජුගුප්සාව, බිය, පිළිකුල, ද්වේෂය... තව කීයක්නම් හැඟීම් මිනිස් සිතකට දැනෙනවාද? ඒ හැඟීම් බොහොමයක් ප්‍රකාශ වෙන්නේ මුහුණින්.

විශ්වාස කරන්න පුළුවන්ද? මුහුණෙන් අංශු මාත්‍රයක හැඟීම් ප්‍රකාශනයක් නැතිව රඟපාන්න පුළුවන් කියලා. පරාක්‍රම නිරිඇල්ලයන් ඒ අපූරු රංගනය උදුරා ගන්නේ මාලිනී ෆොන්සේකාගෙන්. සිරිමැඳුර චිත්‍රපටයේ නිර්මලාගේ මුහුණ හරියට වෙස් මූණක් වගේ.


ඒත් නිර්මලාට ගොඩාක් හැඟිම් ප්‍රකාශ කරන්න පුළුවන් වුණා. ඒ නිර්මලා විදියට තිරයට ආවේ මාලිනිය නිසා.

නිර්මලා සම්පත්ට ළංවුණා

සිරිල් කියන වැඩිමල් සහෝදරයයි සම්පත් කියන බාල සහෝදරයයි ලොකු වලව්වක ජීවත් වෙනවා. අම්මා තාත්තා නැතිව බාල සහෝදරයා (රවීන්ද්‍ර රන්දෙණිය) ගෙදර ඉන්න මෙහෙකාරිය ලීලා (අනෝජා වීරසිංහ) සමඟ සම්බන්ධයක් ඇති කර ගන්නවා. ඒ සම්බන්ධය තියෙද්දිම සම්පත්ට ඇක්සිඩන්ට් එකක් නිසා කතා කර ගන්න බැරිව යනවා. මල්ලි ඇක්සිඩන්ට් වෙලා ගෙදර ඉන්න කාලේ සිරිල් (ලකී ඩයස්) වලව්වට බිරියක් ගේනවා.

ඇය නිර්මලා (මාලිනී ෆොන්සේකා). මේ අතරෙදි සිරිල්ට අවශ්‍ය වෙනවා මල්ලිත් ලීලාත් අතර තියෙන සම්බන්ධය නතර කරන්න. ඒකට උදවු කරන්නේ නිර්මලා. ඇය සම්පත්ට සමීප වෙලා සූක්ෂ්මව ලීලාව සම්පත්ගෙන් අෑත් කරනවා. මේ නිසා නිර්මලා කෙරෙහි ලීලා තුළ හටගන්නේ වෛරයක්. ඉතින් ලීලාගේ වගේම නිර්මලාගේත් චරිතවල ස්වභාවය, රිද්මය පවත්වාගෙන යන්න මම දරපු උත්සාහය මෙතැනදී ඉතාම වැදගත්.

මාලිනී රඟපෑවේ විලම්භලයට

නිර්මලා සහ ලීලා අතර චරිත රිද්මයන් ගත්තම පරස්පරතාවක් තිබුණා. ලීලා හැසිරෙන්නේ වේගී රිද්මයක් තුළ. පල්ලෙහා පන්තියේ, පීඩිත පන්තියේ තරුණියක් විදියට ඇයට තියෙන දඩබ්බරකම... මේ හැමදේම එක්ක අනෝජා රඟපු චරිතයේ වේගී ස්වභාවයක් තියෙනවා. ඒත් නිර්මලාගේ චරිතයට අනුව, පවුලේ තියෙන ගරුත්වය... හැම දෙයක්ම රැකගෙන ඉතාම සංවරශීලීව අර නොසණ්ඩාල වැඩේ ඉදිරිපත් කරන්න ඕන. ඇය ඒක බොහොම ගරු ගාම්භීර විදියට කරනවා. ඇයට තිබුණේ බොහොම මන්දගාමී සහ විලම්භලයකින් කෙරෙන රඟපෑම් විලාශයක්. ඉතින් හරි අමාරුයි ඒක කරන්න.

ඉතාම පරිස්සමෙන් කළ රංගනයක්

නිර්මලා සම්පත්ට ගොඩාක් ළං වුණාට පස්සේ ලීලා දැඩි වෛරයකින් නිදාගෙන ඉන්නවා. වැඩපළ කරන්නේ නැතිව එහෙ ඉන්නකොට නිර්මලා එතැනට යනවා. ගිහිල්ලා කියනවා 'ලීලා මොකද නිදාගෙන...?' ඊළඟට කුස්සියේ වැඩට හිටපු සිරිල් වික්‍රමගේ පෙන්නලා අහනවා 'මේ මනුස්සයාට පුළුවන්ද තනියම මේ සේරම වැඩ කරන්න' කියලා. එතකොට සිරිල් වික්‍රමගේ කියනවා 'ඒ ගෑනිට සනීප නෑ' කියලා. නිදාගෙන හිටපු ලීලා කේන්තියෙන් නැඟිටලා 'මට ඇති අසනීපයක් නෑ' කියලා වේගයෙන් කියනවා.

එතකොට නිර්මලා කියනවා 'මොකද කේන්ති යන්නේ...? ඒ කේන්තිය වෙන කාටහරි පෙන්න ගන්න. අපිට ඕන කරන්නේ අපිට ඕන විදියට වැඩ කරන අය' කියලා. ඒක බැන වැදීමකින් තොර ඉතාම සංවරශීලීව ඇය කියනවා. ඇත්තටම කියනවා නම් ගෘහ මූලිකයා වැඩ නොකර අකීකරුව ඉන්න කෙල්ලකට බැනවදින්න සුදුසු අවස්ථාවක් තමයි ඒ. නමුත් ඇය බැනවදින්නේ නෑ. ඒත් මාලිනී ඒ කියපු විලාශය තදින් හිතට කාවදිනවා. හරිම පරිස්සමට කළ යුතු රංගනයක්. මාලිනී ඒ සියුම් තැන් නිවැරැදිවම තේරුම් ගත්තා.

ඒ දර්ශනයට මාලනී කැමැති වුණේ නෑ

සමහර දර්ශන රූගත කරනවාට මාලිනී කැමැති වුණේ නෑ. සම්පත් සමඟ සම්බන්ධතාව වර්ධනය වුණාට පස්සේ ඒ දෙන්නා කාමරයේ ඇඳ උඩ පෙම්වතුන් විදියට හැසිරෙන දර්ශනයක් මම නිර්මාණය කරලා තිබුණා. නමුත් මාලිනී ඒක කරන්න කැමැති වුණේ නෑ. ඒ නිසා මම ඒ සිදුවීම තවත් කලාත්මකව ඉදිරිපත් කරන්න පෙලඹුණා. ලීලා යතුරු සිදුරෙන් බලද්දි සම්පත්ගේ ඇඟට සවි කරලා තිබුණ ආධාරක එකින් එක ගැලවිලා බිමට වැටෙනවා පෙනෙන්නට සැලැස්සුවා. ඒ දර්ශනය ඇඳ උඩ ඉන්න ප්‍රේමාතුර දර්ශනයට වඩා ප්‍රබල වුණා.

එතැන මට ඕන විදියට කරගන්න බැරිවුණා

එකම එක අවස්ථාවක් තිබුණා නිර්මලාට වෙඩි වැදෙන මොහොතක්. මට ඕන වුණා ඇය ලවා කියවන්න. 'සිරිල්... එයා මාව මැරුවා...' කියලා. එහෙම කියලා ඇගේ ප්‍රාණය නිරුද්ධ වෙනවා. මේ ප්‍රකාශය හරියට ගන්න කීප සැරයක්ම උත්සාහ කළා. ඒත් ඒක හරියට ගන්න බැරි වුණා. ඒ අවස්ථාව හැරෙන්න ඉතිරි සියල්ල හොඳින්ම තිබුණා.

මුහුණෙන් කිසිම ඉරියව්වක් ප්‍රකාශ කළේ නෑ. ඒත් රඟපෑවා ලීලා, සම්පත්ව බාත්රූම් එකේ තියාගෙන ඇඟ සෝදනවා. ඒත් එක්කම හරි අමුතු සංගීතයක් ඇහෙනවා. මේක නිර්මලා දකිනවා. එයා ඇවිදගෙන ඇවිදගෙන යනවා ඔෆිස් රූම් එකට. එයා ගිහින් වැඩ කරන්න උත්සාහ ගන්නවා. ඒත් හිතේ එකඟතාවෙන් වැඩ කර ගන්න බෑ. ආපහු අර මහ විශාල සාලය මැද්දෙන් ඇවිදගෙන එනවා. ඇවිල්ලා ඇඳේ වාඩිවෙලා ඇලවෙනවා. මේ විනාඩි 5ක විතර සිදුවීම් වැලක්. වෙන කෙනෙක් කළා නම් මේ රංගනය මේ තරම් ලස්සනට කරන්නෙ නෑ. මූණෙ ඉරියව් ඕනවට වඩා පෙන්නලා අධිතාත්ත්වික විදියට නිරූපණය කරයි. මාලිනී මූණෙන් කිසි දෙයක් පෙන්නන්නේ නෑ. ඉතාම සංවරව එම අවස්ථාව නිරූපණය කළා. ඒක හරියට නෝ නාට්‍යයක වෙස්මුහුණක් වගේ. නෝ නාට්‍ය කියන්නේ ජපන් නාට්‍ය ක්‍රමයක්. ඒ නාට්‍යවල තියෙනවා අද්විතීය ගණයේ වෙස් මුහුණු විශේෂයක්. බැලූ බැල්මට කිසිම හැඟීමක් ප්‍රකාශ කරන්නේ නෑ.

අයිරාංගනී තරුණ කාලේ හිටියානම්
නිර්මලා වෙන්නේ ඇය

ඇත්තටම මාලිනී වෙනුවට වෙන රංගන ශිල්පිනියක් නම් ඒ වෙද්දි හිටියේ නෑ. හැබැයි ඔය කාලේ අයිරාංගනී සේරසිංහ තරුණ වයසේ හිටියා නම් මම ඇයව ගන්නවා.

මාලිනීවත් ඇගේ රංගනයේ
බරපතළකම තේරුම් ගත්තේ නෑ

හුඟක් අය මාලිනීගේ හැකියාව සිරිමැඳුරේදී දැක්කේ නෑ. ලීලාගේ චරිතය අනෝජා වීරසිංහ ඉතාම විශිෂ්ට ආකාරයට නිරූපණය කරනවා. නමුත් ඒ නිරූපණයන් දෙක දෙකක්. ලීලාගේ චරිතය කරන්න පහසුයි. ඒ වගේ චරිතයක් කරන්න හුඟක් රංගන ශිල්නියන් ඉන්නවා. ඒත් නිර්මලාගේ චරිතය කරන්න ලේසි නෑ. මං දන්නෙ නෑ මාලිනීවත් නිර්මලාගේ චරිත නිරූපණයේ බරපතළකම තේරුම් ගත්තද කියලා.

වාසනා සුරංගිකා විතාණගේ