Saturday

සමලිංගිකයකු වෙන්න ලජ්ජා නහර කපල දාලා

මම ගෙහාන්ට
ලිප් කිස් 
එකකුත් දුන්නා... 

දැන් මං ඉලන්දාරියෙක් කියලා හිතුණේ?
ඉලන්දාරියෙක් කියලා හිතුණේ ඇත්තටම කියනවා නම් 6දී 7දී වගේ.

ඉස්සෙල්ලාම දැළි රැවුල කැපුවේ?
රැවුල කැපුවෙත් 7 වසරේදී වගේ. ඉක්මනටම කපා ගත්තා. කපන්න රැවුලක් තිබුණෙත් නෑ. ලොකු වෙන්න තියෙන ආසාවට ටක් ගලා රැවුල කපා ගත්තා.


තනියෙන් තීරණ ගන්න පටන් ගත්තේ?
මට එහෙම මතක නෑ. මුල ඉඳන්ම තනි තීරණ තමයි ගන්නේ. මට ඕන දේ මං කළා. මං හිතන්නේ 9 වසරෙන් පස්සේ වගේ තනි තීරණ තමයි දිගටම ගත්තේ.

තාත්තාගෙන් රිදෙන්න ගුටි කෑවේ?
තාත්තාගෙන් මම අවුරුදු 14ක් 15ක් වෙනකල්ම තුන්පාරයි ගුටි කාලා තියෙන්නේ. ඒ ගුටිකාපු අවස්ථා තුන හොඳට මතකයි. ඊට පස්සේ තාත්තා ගහන එක නැවැත්තුවා.

අම්මාගෙන් ගුටි කෑවේ?
අම්මාගෙන් නම් අම්බානට ගුටි කනවා. ඒක සාමාන්‍ය දෙයක් වුණා. කොච්චර ගැහුවත් වැඩක් නෑ. ගුටිකන එකම තමයි කළේ. කිසි ගාණක් නෑ.
ඉස්කෝලෙන් ලැබුණ අමතක නොවන දඬුවම?
මං ගියා ඉස්කෝලෙට චරිත සහතිකයක් ගන්න කියලා. රැවුල කොණ්ඩේ එහෙම වවාගෙන ගියේ. ඊට පස්සේ නියෝජ්‍ය විදුහල්පතිතුමා මාව අරං ගිහින් ගේට්ටුවෙන් එළියට තල්ලු කරලා පලයං... කියලා කිව්වා. ඒක තමයි මට දුන්න ලොකුම දඬුවම. තවම අස්වීම් සහතිකේවත් අරගෙන නෑ.

යාළුවෙක්ට ඇස් රතුවෙන විහිළුවක් කළේ?
ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒවා කියන්න බෑ. කොටු දාන්න වෙන බාල්දි තමයි පෙරළලා තියෙන්නේ.
හා හා පුරා කියලා නළුවෙක් වුණේ?
2003 දී තමයි මම මයන්ත අයියා ළඟට ගියේ. එදා ඉඳලා තවම ට්‍රයි කරනවා. ඒත් තවම නළුවෙක් වෙන්න බැරි වුණා.
තමන්ව පුංචි තිරයෙන් හරි රිදී තිරයෙන් හරි මුලින්ම දැක්කේ?
මං රස්තියාදුකාරයා කියන ටෙලි නාට්‍යයේ පොඩි චරිතයක් කළා. අන්න ඒ කොටස් විකාශය වෙද්දි තමයි.

කරපු අසීරුම රංගනය?
මං හිතන්නේ ඒ සීන් එක තිබුණේ අලුතින් කරපු 'ට්‍රැංජි පැණි' ෆිල්ම් එකේ. මං නිරූපණය කළේ සමලිංගික චරිතයක්. හරි අසීරු වුණා. මට ඒක කරන්න. අනිත් කෙනා ගෙහාන්. මම ගෙහාන්ට ලිප් කිස් එකකුත් දුන්නා. මං ඉතින් කිව්වා අවුලක් නෑ, අපි අවුරුදු 7ක් 8ක් තිස්සේ අඳුරන යාළුවෝ. අද ඊයේ හම්බෙන කෙල්ලන්ටත් ඔක්කොම දේවල් කරනවා නම් උඹට කිස් එකක් දුන්නම මොකද වෙන්නේ කියලා කිස් එක දුන්නා.

දුම්වැටියක් අත්හදා බැලුවේ?
මුලින්ම සිගරැට් එකක් අත්හදා බැලුවේ 3 වසරේදී විතර. තාත්තාගේ සිගරැට් කොටේ ඇහිඳගෙන බිව්වා.

මත්පැන් තොල ගෑවේ?
අම්මා පොඩි කාලේදි බඩේ කැක්කුමට වගේ මත්පැන් දීලා තියෙනවා. ඒත් බොනවා කියන හැඟීමෙන් බිව්වේ 9 වසරේදී.
ක්‍ෂේත්‍රයේදී මුණගැහුණ ළඟම මිතුරන්
යාළුවෝ ගොඩා...ක් ඉන්නවා. සහෝදරයෝ දෙන්නෙක් වගේ ඉන්නේ නම් අමල් පෙරේරා අයියායි, මහේන්ද්‍ර අයියයි තමයි.
ජීවිතයේ මුණගැසුණ විශ්වාසවන්තම පුද්ගලයා?
මම. මට මං තරම් විශ්වාස නෑ කවුරුවත්ම.
ආදරය ඉල්ලන්න ගිහින් ලැබුණ එපාම කරන ප්‍රතිචාරය?
එයා වෙන කෙනෙක් එක්ක ගිහිල්ලා, ගියා කියලා මට කියපු එක. මේ ප්‍රතිචාරය ලැබුණේ ඉතාම මෑතකදී.

ඉස්සෙල්ලාම ගෑනු ළමයෙක්ට ආදරය ප්‍රකාශ කළේ?
පොඩි කාලේ ඉඳලා ලව් කරලා තියෙනවා. හැබැයි හොඳටම ආදරය කියන හැඟීම දැනුණේ නම් මෑතකදී. ඒ ආදරය තමයි අර දාලා ගියා කිව්වේ.
ඒ කියන්නේ පෙම්වතෙක් වෙලාම නැද්ද?
නෑ... නෑ... පෙම්වතෙක් වෙලා තියෙනවා. ඒත් හරියට පෙම්වතෙක් වෙන්න බැරි වුණා. ලව් කියන්නේ මොකක්ද කියලා හරියටම තේරෙද්දි මම පරක්කු වැඩියි. එයා බායි කියලා ගිහිල්ලා.
ලැබුණ අමතක නොවන තිළිණය?
මගේ බර්ත් ඩේ එක දවසේ එක්කෙනෙක් මාව සප්‍රයිස් කළා. එයා මට කියලා කේක් කප්පවලා ..... රෑ 12ට විතර තෑගි ගෙනත් දීලා මාව පුදුම කළා. ඒකත් වුණේ ගිය අවුරුද්දෙදි වගේ.

ගෙදරට කරපු ලොකුම වංචාව?
ගෙදරට තමයි ඔක්කොම වංචා කළේ... මුලින්ම රිපෝට් එකේ තියෙන ලකුණු ටික වෙනස් කරන් වෙනස් කරන් ගියා. අම්මාගෙයි තාත්තාගෙයි අස්සන ගැහුවා. ස්කූල් කට් කරන් කට් කරන් ගියා... ඔහොම ඔහොම ගොඩා.......ක් තියෙනවා.
මුලින්ම සිනමා ශාලාවකට ගිහිල්ලා බලපු චිත්‍රපටය?
මං මුලින්ම බැලුවේ 'වැඩිහිටියන්ට පමණයි' ෆිල්ම් එකක්. මට හරියට නම මතක නෑ. ඉස්කෝලේ ඇඳුම පිටින්ම බැලුවා.
යතුරුපැදියක හිමිකරුවෙක් වුණේ?
තවමත් බැරි වුණානේ. හැබැයි යාළුවන්ගේ ඒවා අරගෙන පදිනවා. එතකොට නම් ඒ වගේ අයිතිකාරයා මම කියලා තමයි හිතන්නේ.

ජංගම දුරකතනයට ලැබුණ අමතක නොවන ඇමැතුම?
එහෙම ඒ දවස්වල ඇමැතුමක් ගන්න සල්ලි නෑනේ. මම රිංග් කට් එකක් දෙනවා. එයත් රිංග් එකක් දෙනවා. ඒක තමයි ලොකුම පණිවුඩය. ආදරෙයි කියන්නෙත් රිංග් කට් එකෙන්. තරහයි කියලා පෙන්නන්නෙත් රිංග් කට් එකෙන්.
ඉකි ගහලා අඬපු දවසක්?
අඬලා තියෙනවා. ලව් ප්‍රශ්නවලට වගේම අපේ තාත්තලාගේ කඩයක් තිබුණා. ඒ කඩේ කඩලාත් මම ගොඩක් දුක් වුණා. ඇඬුවා.
ගොඩක්ම සතුටු හිතුණේ?
මං හිතන්නේ ගොඩක්ම සතුටු වුණේ මං කරපු ෆිල්ම් එකක් තිරයෙදි දකින කොට.

පිරිසක් ඉස්සරහා ලැජ්ජාවට පත්වුණේ?
ලැජ්ජා නහර කපලානේ තියෙන්නේ. ලැජ්ජාව කියන එක දැනෙන්නෙවත් නෑ.
ජීවිතයේ හුඟක්ම තනිකමක් දැනුණේ?
ලව් නැති වුණ වෙලාවට නම් මාර තනිකමක් දැනෙනවා.
අහන්න ලැබුණ අප්‍රසන්නම කට කතාව?
ඒක නම් ඉතින්... අප්‍රසන්න වෙන්න බෑ. මොකද අපි කරන ඒවා තමයි මිනිස්සු කියන්නේ ඉතින් ඒකෙ වරදක් නෑනේ. කට කතා හැදෙනවා. හැබැයි මට එහෙම ලොකුවට කට කතාවක් හැදිලා නෑ.
බලපු ලස්සනම චිත්‍රපටය?
ලංකාවේ නම් මම ආසම මිල්ලෙසොයා චිත්‍රපටයට.
රසිකාවියකගෙන් ලැබුණ අමතක නොවනම ප්‍රතිචාරය?
මං ඔයාට ආදරෙයි කියනවා වගේ ප්‍රතිචාර තමයි. මං ඉතින් මාත් ආදරෙයි කියලා කියනවා.

පොලිසියකට මාට්ටු වුණේ?
නීති විරෝධී දුම් පානයක් සඳහා ගිහිල්ලා අපිව අල්ලන් ගිහින් කූඩු කළා. දවස් 7ක් ඇතුළේ හිටියා.
ඉස්සෙල්ලාම ලියුමක් ලිව්වේ?
මං හිතන විදියට 7 වසරේදී. ශානිකා කියලා ගෑනු ළමයෙක්ට.
දැකපු සුන්දරම හීනයක්?
රෑට පේන හීන කියන්න බෑනේ... ගොඩක් දවස්වලට හීනේ හොඳම හරියේදි අම්මා ඇවිත් නැඟිටින්න නැඟිටින්න කියනවා.
වලියකට ගිහින් අම්බානට ගුටි කෑවේ?
අපෝ ගුටි කලා තියෙනවා. පිහි ඇනුම් පාරකුත් තියෙනවා. ඒ 2007දී. මොරටුව පැත්තේ එකෙක් පිහියෙන් ඇන්නා.
ජීවිතයට වඩාත් සමීපම ගීතය?
'මගේ දෑසේ කඳුළු වෙන දෑසක සතුටු කඳුළුවේ....'

වාසනා සුරංගිකා විතානගේ