Monday

තනිකඩ කොලු කෙල්ලන්ට පමණයි!

පුද්ගලයන්ගේ ශරීර විවිධාකාරය. සිතුම් පැතුම්ද විවිධාකාරය. බුදු රජාණන් වහන්සේ “නානත්ත කායා - නානත්ත සංඥා” යැයි දේශනා කළේ ඒ නිසායමි. මිනිසුන් මෙන්ම භූතයන්ද විවිධ වූ ශක්තීන්ගෙන් හැකියාවන්ගෙන් යුක්තය. එසේම දුර්වලකම් හා නොහැකියාවන්ගෙන්ද යුක්තය.

ආධ්‍යාත්මීය ශක්තිය වර්ධනය කර නොගත් මිනිසුන්ට සංසාරගත පාප කර්ම විපාක දෙන කාල පරිච්ඡේදයන්හිදී අමනුෂ්‍ය බලපෑම්වලින් දුක් පීඩා වි
ඳීමට සිදුවේ.


එසේම ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල හේතු සහිත චුති චිත්තයකින් ඊළඟ ප්‍රතිසන්ධිය ලබන්නෝ තමන් ජීවත් වූ ගෙවල් ‍ෙදාරවල්, දේපළ හා පුද්ගලයන් ඇසුරු කරගෙනම දුගතිගාමීව උපත ලබති. අමනුෂ්‍යයන් ආදරයෙන් උපන්නත්, වෛරයෙන් උපන්නත් අසුරු කරන පුද්ගලයාට එය අහිතකරයි.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි අජන්තා හැට හැවිරිදි අවිවාහක කාන්තාවකි. මීට අවුරුදු හතළිහකට පෙර ඇගේ මව මිය ගියාය. අවුරුදු විස්සකට පෙර පියා මිය ගියේය. ඇගේ නිවෙසේ කාමර දෙකක් නවාතැන්කාරියන් දෙදෙනකුට කුලියට දීමෙන් යම් තරමකින් නිවෙසේ පාළු ගතිය මඟහැර ගත්තාය. මොනම හේතුවක් නිසාවත් පිරිමියකුට ඒ නිවෙසේ නවාතැන් ගැනීමට නොහැකි විය. නවාතැන් ගත්තත් රාත්‍රි හීනෙන් හෝ හැබැහින් බියට පත්වීම නිසා පිරිමි නවාතැන අතහැර යති.



අජන්තාද අවුරුදු විස්සක පමණ කාලයක සිට විවිධ රෝගබාධවලින් පෙළුණාය. ඇඟ පත දැඩි වේදනාවෙන්ද රාත්‍රි හීනෙන් තිගැස්සී බියට පත්ව ඇහැරීම, සමහර අවස්ථාවල ඇගේ කාමරය තුළ දුගඳත් හැමීම ආදී කරදරවලින් පීඩා වින්දාය. මේ සඳහා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළ ද සහනයක් නොවිණි.

“මව්බිම” පත්‍රය කියවන නවාතැන්කාරියකගේ උපදෙස් මත එහි “සැණකෙළිය” අතිරේකයේ පළවන “මළවුන්ගේ හෝරාව” විශේෂාංගයේ සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා අජන්තා ඇය සමඟ ගියාය. ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා හමුවී තම දුක් ගැනවිල්ල කීවාය.


පළමු ගවේෂණයේ දී ශක්ති කිරණ එල්ල කරන විට අජන්තා ගැස්සෙන්නටත් පැද්දෙන්නටත් වූවාය. ඉන් එහා දෙයක් එදින මතු නොවූයෙන් ගමේ පන්සලේ දින විසිඑකක් බෝධි පූජා පවත්වා සෑම බෝධි පූජාවක් අවසානයේ දීම මෛත්‍රි භාවනාව වඩා දෙවියන්ටත් මළගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන ලෙස උපදෙස් දුන්නේය.


බෝධි පූජා නියමිත පරිදි අවසන් කළ අජන්තා යෙහෙළිය සමඟ නැවැත පැමිණියාය.


එදින දිෂ්ටි ගැන්වූ විට ඇය ප්‍රලය වූවාය. ශක්ති කිරණ එල්ල කරන විට භූතාත්මය අඬන්නට වූවාය. ඇගේ ශරීරයේ පැත්තක් පණ නැතිව ගොස් තම කට ඇදවී ගියේය. නාගොඩවිතාන මහතා භූතාත්මයෙන් ප්‍රශ්න කළේය.

“කවුද මේ?”
“මේ දුවගෙ තාත්තා.” භූතාත්මය කීවේය.
“මොකක්ද නම?”
“ඇල්බට්.”
“මැරුණේ මොනවා වෙලාද?”
“අංශබාගය හැදිලා.”
“ඇයි මේ දුවට කරදර කරන්නේ?”
“අනේ මම කරදර කරන්නේ නෑ....” භූතාත්මය අඬන්නට විය.
“ඇයි මේ ආයෙත් අඬන්නේ?”

“අනේ මහත්තයා මම සෑහෙන්න උත්සාහ කළා මේ දුවට කසාදයක් කරදෙන්න. මට ඒක කරදෙන්න බැරි වුණා. අම්මත් නැති කෙල්ල. මම දුව කොයිතරම් හොඳට හදා වඩා ගත්තාද? ඒත් දුවට ගැළපෙන කෙනෙක් සොයා දෙන්න බැරි වුණා. අන්තිමේ මමත් අසනීප වුණා. කාලයක් ලෙඩ ඇඳේම දුක් විඳලා මැරුණා. ඒත් මට කෙල්ල දාලා යන්න බැරිවුණා. මට දුව ළඟින් ඉවත්වෙලා යන්න බැරි වුණා. මට යන්න විදියක් නෑ.”
“ඇයි ඉවත් වෙලා යන්නේ නැත්තේ?”

“දුවට තියෙන ආදරේට.”
“ඇයි මේ ගෙදරට පිරිමින්ට එන්න නොදන්නේ?”
“ඒත් මගේ දුවට නපුරක් සිද්ධ වෙයි කියලා බයට. මම පිරිමි කාටවත් මේ ගෙදර නවාතැන් ගන්න දෙන්නේ නෑ.” යළිත් භූතාත්මය අඬන්නට විය.
“ඇයි මේ ආයෙත් අඬන්න ගත්තේ?”

“අනේ මහත්තයා කෙල්ල ගෙදරටම නාකි වුණේ මම හින්දයි. මගේ වැරැද්දෙන්.”
“ඇයි තමන් මොනවද කළේ?”
“දුවගෙ සම්බන්ධයක් තිබුණා. මම ඒකට විරුද්ධ වුණා.”
“ඒ මොකද?”
“දුවත් එක්ක යාළුවෙලා හිටියේ උත්සාහවන්ත ඉලන්දාරියෙක්. ඒත් මම ඒ සම්බන්ධයට ගැළපෙන්නේ නැති නිසා විරුද්ධ වුණා.”
“ඇයි ඒ ළමයා නොගැළපෙන්නේ?”
“ඒ ළමයා අපේ කුලයට නොගැළපෙන නිසා.”

“තමන් කුලමානයෙන් අහංකාර වෙලාද හිටියේ?”
“අනේ නැහැ මහත්තයා. මගේ දුවට ඊට වඩා හොඳ විවාහයක් කරදෙන්න පුළුවන් කියලා මට හිතුණා.”
“ඉතින් ඒ තරුණයා උත්සාහවන්ත කෙනෙක් නම් කොහොමද නරක් වෙන්නේ?”


“මහත්තයෝ මේවා සමාජ චාරිත්‍රත් එක්ක සිද්ධ වෙන්න ඕනෑ දේවල්නෙ. කෙනෙක් අඩු කුලයක උපදින්නේ තමන් පෙර භවයක කළ පාපයක් නිසා. අනුන්ට අපහාස අවනම්බු කරපු, මානයෙන් අහංකාර වුණ අය තමයි ඔය මරණයෙන් පස්සේ අඩු පාඩු ඇතිව උපදින්නේ. 


ඒ වගේ අය එක්ක විවාහ වුණාම නෑදෑයන්ගෙන් කොන්වෙනවා. උපදින දරුවන්ටත් මදි පුංචිකම් වෙනවා. ඒකයි මම ඒ සම්බන්ධයට අකැමැති වුණේ. මගේ දුවත් කීකරු දැරිවි. දුවත් මගේ කීමට එකඟ වුණා. මම දුවට හොඳක් කරන්නයි මහත්තයා හැදුවේ. ඒත් මම මැරෙනකම් මට දුවට වෙන කෙනෙක් සොයා දෙන්නත් බැරිවුණා. මම මැරිලත් දුවගෙ ආරක්ෂාවට ඉන්නවා.” භූතාත්මය කීවේය.

“ඔව් දැන් ඉතින් ඒ ගැන කනගාටුවෙන්න එපා. මවුපියන් වශයෙන් එහෙම තමයි. හිතන්නේ, පතන්නේ දැන් සියල්ල සිද්ධවෙලා ඉවරයි. කාලය ගෙවිලා ඉවරයි. ඔබේ ආදරය නිසා ඉවත්ව යන්න බැරි වුණා. දැන් ඔබත් ඒ වේදනාවෙන් දුගතිගාමී භවයක ඉන්නේ. ඔබේ කිරණ නිසා දුව ලෙඩ වෙනවා.”

“මම දුවගෙ ඇඟට රිංගන්නේ නැහැ මහත්තයා.”
“ඇඟට රිංගුවේ නැති වුණත් ඇයට සමීපව ඉන්නකොට ඔබේ ශරීරයෙන් නිකුත් වෙන කිරණ වැදිලා ඇය ලෙඩ වෙනවා. මෙහෙම වෙනකොට තවත් අමනුෂ්‍යයන් කිට්ටු වේවි. ඒ නිසා ඔබ ඔය තත්ත්වයෙන් මිදී ඉහළ තලයකට යන්න.” නාගොඩවිතාන මහතා භූතාත්මයට උපදෙස් දී අජන්තාට තවත් සතියක් බෝධි පූජා පවත්වා නැවැත එන්නැයි කීවේය.

සතියකට පසු නැවැත පැමිණි අජන්තා නාගොඩවිතාන මහතා සමඟ සාකච්ඡා කළාය.
“මහත්තයා මගේ අදහසක් තියෙනවා පැවිදි වෙන්න.”
“කොහොමද පැවිදි වෙන්නේ?”
ගවේෂකවරයා ඇසීය.

“ගේ ‍ෙදාර විකුණලා ඒ මුදල් ස්ථාවර ගිණුමක තැන්පත් කරලා පැවිදි වෙනවා.”
“එතකොට ඒක අතහැරීමක් නෙවෙයි. වෙනම සංස්ථාවක් හැදීමක්.”
ඒ සමඟම පියාගේ භූතාත්මය අජන්තාට ආවිෂ්ට වී කතා කරන්නට විය.
“මහත්තයා මම ඉන්න එක දුවට කරදරයක් බව මට දැන් වැටහෙනවා. මගේ දුව හොඳ චරිතවත් ළමයෙක්.”

“ඔව් දුවට දැන් විවාහ ගැන බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා දුව අතහරින්න. දුවට තියෙන්නේ ගේ ඉතුරු කරගෙන අනෙක් ඉඩකඩම් විකුණා ස්ථාවර ගිණුමක් ආරම්භ කොට ඒ පොලියෙන් ජීවත්වෙන්න. දැන් පසු අයිතියට කෙනෙකුත් නැහැනෙ. තම උපරිමය ඕනෑ නම් අවුරුදු තිහක් තිස් පහක් ජීවත් වේවි. ඒ පොලියෙන් හොඳට ජීවත් වෙන්න පුළුවන්.”

“ඔව් මහත්මයා එහෙම හොඳයි මම කැමැතියි. දුවට එහෙම කරන්න උපදෙස් දෙන්න.” භූතාත්මය කීවේය.
නිවෙසේ දානයක් දී මවටත්, පියාටත් පැන් වඩා පින් අනුමෝදන් කරන ලෙස උපදෙස් දුන් අතර කලින් බෝධි පරිශ්‍රයට යන්නට භූතාත්මය කැමැති වී භූතාත්මය ඉවත්ව ගියේය.

මහින්ද විජේතිලක