Thursday

අලුත බැදපු යුවතියන්ට වේදනාව වැඩියිලු

මුත්‍රා දැවිල්ල ඇතිවන්නේ ඇයි?
මුත්‍රාවල සාන්ද්‍රණය වැඩිවීම හා මුත්‍රාවලට විසබීජ ඇතුළු වීමත් මෙයට හේතුවකි.
පිරිමි පාර්ශ්වයට වඩා කාන්තාවන්ට මුත්‍රා දැවිල්ල ඇතිවීමේ වැඩි අවදානමක් පවතිනවාද?
ඔව්. පුරුෂයන්ට වඩා කාන්තාවන්ගේ මුත්‍රා මාර්ගය කෙටිවීම මෙයට හේතුවයි. එවිට ඒ හරහා ඉක්මනින්ම විසබීජ ඇතුළු වේ.

අලුත විවාහ වූ කාන්තාවන් මෙම තත්ත්වයට බොහෝ සෙයින් මුහුණපායි. මෙයට හේතුව කුමක්ද?
බොහොමයක් කාන්තාවන්ට මෙය ඇතිවන්නේ පළමුවර ලිංගිකව එක්වීමෙන් පසුවයි. මෙය Honeymoon cystist ලෙස හඳුනා ගනියි.

පළමු එක්වීමේදී පුරුෂයාගේ ශරීරයේ ඇති බැක්ටීරියා කාන්තාවගේ ලිංගික ප්‍රදේශයට ඇතුළුවීම නිසා මෙය සිදුවේ.

මාසික ඔසප්වීමේදීත් කාන්තාවන්ට මුත්‍රා දැවිල්ල ඇතිවිය හැකිද?
ඔව්. මාසික ඔසප්වීමේදී නිතරම රුධිරය පිටවීම නිසා ඒ හරහා බැක්ටීරියා ආසාදන පහසුවෙන්ම ඇතිවිය හැකිය. විශේෂයෙන්ම ඔබ භාවිත කරන සනීපාරක්‍ෂක තුවා මාරු කිරීමට වැඩි වේලාවක් ගතවෙයි නම් බැක්ටීරියා මුත්‍රා මාර්ගය හරහා ගමන් කරමින් මුත්‍රා දැවිල්ල ඇතිවීමට පුළුවන.

ආර්තවහරණයෙන් පසුවත් මුත්‍රා දැවිල්ල ඇතිවෙනවද?
ආර්තවහරණයෙන් පසුව කාන්තාවගේ ඊස්ට්‍රජන් හෝමෝන ක්‍රියාකාරිත්වය අවම වන නිසා ඉක්මනින් රෝගවලට ගොදුරු විය හැකිය. මේ නිසා යෝනි මාර්ගය අවට ඊස්ට්‍රජන් ක්‍රියාකාරීත්වය දුර්වලවීමෙන් ආම්ලික බව අඩු වෙනවා. එවිට කෙටි මුත්‍රා මාර්ගය හරහා වර්ධනය වන බැක්ටීරියා පහසුවෙන් ගමන් කිරීමෙන් මුත්‍රා දැවිල්ල ඇති වෙනවා.

ගර්භණී සමයේදී මුත්‍රා දැවිල්ල ඇතිවන්නේ කවර හේතූන් නිසාද?
ස්වාභාවයෙන්ම ගර්භණී කාන්තාවන්ගේ ප්‍රතිශක්තිය අඩුයි. මේ නිසා මොවුන්ට මුත්‍රා ආසාදන ඇතිවීමට පුළුවන. විශේෂයෙන්ම ගර්භණී කාන්තාවන්ට මුත්‍රා පිට කිරීමේ අපහසුතා ඇතිවන නිසාත් මුත්‍රාශයේ යම් මුත්‍රා ප්‍රමාණයක් රැඳී තිබෙන නිසාත් ඉක්මනින්ම මුත්‍රා ආසාදනවලට ගොදුරු වේ.

මෙවැනි මුත්‍රා ආසාදනවලින් වැළකී සිටීමට නම් කුමක් කළ යුතුද?
• මුත්‍රා සාන්ද්‍රණය වැඩි නම් හොඳින් ජලය පානය කිරීම.
• නිතරම පිරිසුදුව සිටීම.
• මුත්‍රා කිරීමෙන් පසුව ලිංගේන්ද්‍රය අවට සෝදා හරින්න.
• සනීපාරක්‍ෂක තුවා ඉක්මනින් මාරු කිරීම.
• ලිංගිකව එක්වීමට පෙර පිරිසුදුව සිටීම.

 
වෛද්‍ය රොෂාන් ප්‍රනාන්දු
ආයතන භාර වෛද්‍ය නිලධාරි
මහගිරිඋල්ල ප්‍රාදේශීය රෝහල
නිකවැරටිය