Saturday

එයා දකිනකොට මට තාමත් පිස්සු හැදෙනවා - ලක්‍ෂිකා

ලොකු නෑනාගේ
බල කිරීමට
මම ඒ දේ කළා....

සුදු ගවුමට වඩා දිග කොණ්ඩ කරල් දෙක පැද්දෙන තාලේ බලන්න තරුණයෝ ඇගේ පස්සෙන් ආවා. තිරයෙන් දකින ඒ රූපය සමහරුන්ට හීනෙනුත් පේන්න ගත්තා. තරුණ හිත්වල ඇඳිලා තිබුණු ඒ සුන්දර හිනාව රැඳි හැඩකාරිය වෙන කවුරුවත් නෙවෙයි ලක්‍ෂිකා ෆොන්සේකා. එදා වගේම තාමත් හැඩ ඇයට තාමත් ලැබෙන රසික ආදරය අපමණයි.

ඔබේ රූපයේ ලස්සන වැඩියෙන්ම දැනුණු කාලයක් තිබ්බද?
මම ක්‍ෂේත්‍රයට ආපු මුල් කාලයේ මගේ ලස්සන ගොඩක් දැක්කා. ඒ නිසා මම ඒ කාලෙට ගොඩක් කැමතියි.


නමුත් සමහර වෙලාවට මගේ ඡායාරූප සහ මම සම්බන්ධ වුණු නිර්මාණ දැක්කම හිතෙනවා ඊට වඩා වෙනස් අමුතු ලස්සනක් අදත් තියෙනවා කියලා.

ඔබේ රූපය තිරයට ගැළපෙනවා කියලා මුලින්ම කිව්වේ කවුද?
මම රිදී තිරයට ආවේ අවුරුදු දහසයේදී. ඒ දේදුන්නේ සමනලියක් චිත්‍රපටයෙන්. එතකොටත් මම පාසල් යනවා. අපේ අක්කා මුණගැහෙන්න බෙනට් ජයතුංග අංකල් අපේ ගෙදර ආපු වෙලාවක ඔහු මාව දැක්කා. මම දණහිස හරියට දිග කොණ්ඩලය කරල් දෙකකට ගොතාගෙන පාසල් නිල ඇඳුම පිටින් හිටියේ. ඒ වෙලාවේ බෙනට් අං කල් මගේ දිහා බලලා රඟපාන්න කැමතිද ඇහුවා. යසපාලිත නානායක්කාරගේ චිත්‍රපටයට මාව ඕනෙම කිව්වා. එයා තමයි මාව යසපාලිත අංකල්ට හඳුන්වලා දුන්නෙත්.

ක්‍ෂේත්‍රයට ආපු ගමන් ඔබේ රූපයට ක්‍ෂේත්‍රයේ අයගෙන් මොන වගේ ප්‍රතිචාරද ලැබුණේ?
දේදුන්නේ සමනලියක් චිත්‍රපටය රූගත කරන කොට රෝයි ද සිල්වා යසපාලිත අංකල්ගේ ගෙදරට ආවා ගියා. ඔහු කිව්වා මගේ රූපය හොඳයි. හොඳ ගමනක් යන්න පුළුවන් කියලත්. ඊට පස්සේ රෝයි අයියා ඔහුගේ චිත්‍රපට කිහිපයකටත් මාව සම්බන්ධ කරගත්තා. ඒ වගේම නිහාල් සිල්වා අයියා මගෙන් හැම තිස්සෙම දැක්කේ විජිත මල්ලිකාව. ඔහුත් මට ක්‍ෂේත්‍රයේ ගොඩක් අවවාද දුන්න හිතවතෙක්. ඔහු අද හිටිය නම් ගොඩක් සතුටු වෙයි.

පාසලේදීත් ඔය රූපෙට විශේෂ තැනක් ලැබෙන්න ඇති නේද?
ඔව්. මම රඟපෑමට යොමු වුණෙත් පාසලෙන්. ඒ වගේම පාසලේ නර්තන අංගවල හිටියා. අපේ අක්කා චිත්‍රපටවලට යනවා කිව්වම මගේ යාළුවෝ ඒ කාලේ කියනවා 'ඉතිං ඔයත් රඟපාන්නකෝ ඔයත් නිළියක් වගේනේ කියලා. අපේ පාසල ඒ කාලේ මිශ්‍ර පාසලක්. ඒ හිටපු පිරිමි යාළුවෝ දැන් මට හම්බවුණාම කියනවා උඹ ඇවිදන් යනකොට අපි උඹේ පිටිපස්සෙන් එනවා කොණ්ඩේ නැළවෙන හැටි බලන්න කියලා. ඒ දේවල් ඉස්සර කිව්වා නම් එයාලා මගෙන් ගුටි කනවා. මොකද ඉස්සර මට ඔරොත්තු දෙන්නැති විහිළු කළොත් මම පිරිමි ළමයින්ට ගහනවා. ඒකට මම ඉස්සර ප්‍රසිද්ධයි.

ඒ කාලේ ඔබේ රූපෙට තියෙන විශේෂත්වය උරගා බලන්නත් ඇති?
ඔව්. මම ඉස්කෝලේ යන කාලේ ලොකු නෑනගේ බල කිරීමට ගමේ අවුරුදු කුමාරි තරගවලට ගිහින් පළමුවැනි තැන ගත්තා. 1993දී ජාතික අවුරුදු කුමරි තරගයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පළමු තැන ගත්තෙත් මම. ඒ වසරේදීම කොළඹ දිස්ත්‍රික්කයේ කිරුළ රජ දැක්මේ අවුරුදු කුමරිත් වුණා. ඒ වගේම උඩරට මැණිකේ රූප රැජන තරගයේ මිස් ටැලන්ට් සහ උඩරට මැණිකේ කිරුළ ගන්නත් මට පුළුවන් වුණා.

පාසල් කාලෙම ක්‍ෂේත්‍රයට ආපු ඔබේ හිනාවට ඒ කාලේ හොඳ වටිනාකමක් තිබ්බා නේද?
මගේ හිනාව ලස්සනයි කියලා හැමෝම කියනවා. මම ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයට එන්න කලින් වෙළෙඳ දැන්වීම්වලත් හිටියා. වෙළෙඳ දැන්වීම්වල මගේ හිනාවට ලොකු තැනක් ලැබුණා. දන්තාලේප ඇඩ්වලට නම් මගේ හිනාව නැතුවම බැරි වුණා.

තිරයෙන් ඔබව ලස්සනටම දැක්කේ මොන නිර්මාණවලින්ද?
දේදුන්නක සමනලියක් චිත්‍රපටයෙන් මම මගේ රූපය ලස්සනටම දැක්කා. ඒ චිත්‍රපටයේ මගේ චරිතයේ මම ලස්සනට ඇඳුම් ඇන්දා. ඒ වගේම නර්තනය කරන තරුණියකගේ චරිතය නිසා ඒ ලස්සන මතුවෙලා පෙනුණා. සිවදාසන් අයියා කරපු ඔබ මගේම වේවා චිත්‍රපටයෙත් මගේ රූපය ලස්සනට තිබුණා.

තිරයෙන් මතුවුණ ඔය රූපෙට මොන වගේ ප්‍රේක්‍ෂක ප්‍රතිචාරද තිබුණේ?
ඒ දවස්වල ලියුම් බෙදන කෙනා ලියුම් ගේන්නේ මට විතරද කොහෙද? ලියුම් මිටි ගණන් ගෙදරට දීලා යනවා. මට මතකයි ඒ කාලේ තරුණ පිරිමි ළමයි මගේ ඡායාරූප කාමරේ බිත්තිවල එල්ලගෙන ඉන්නවා කියලා ලියුම් එවනවා. ඇස් පියාගෙන හිටියත් ඔයාගේ රූපය පේනවා කියලත් සමහරු ලියලා එවනවා. මම විවාහ වුණායින් පස්සෙත් උසස් පෙළ කරන පිරිමි ළමයෙක් අපේ ගේ ළඟින් නිතර යන්න එන්න ගත්තා. එයාගේ බයිසිකලය අපේ ගෙදර ළඟ කැඩෙන්න ගත්තා.

හැමෝගෙම ආකර්ෂණය දිනාගත්ත ඔය රූපේ රැකගන්න ගොඩක් දේවල් කරන්න ඇති?
ඒ කාලේ නම් එක එක දේවල් ගෑවා. අලිගැටපේර ගෙඩියක් කෑවත් ලෙල්ල මුහුණේ ගානවා. සැලෝන්වලට ගිහින් කෙමිකල් එක්ක ජීවත් වුණේ නෑ. හැබැයි කොහොඹ, වෙනිවැල්, සුදුහඳුන් වගේ දේවල් නිතරම පාවිච්චි කළා. හොඳට පලතුරු කෑවා.

තරුණ රූපේ ටිකින් ටික වියැකිලා යනකොට මොකද හිතෙන්නේ?
ඒක ඉතිං යථාර්ථයනේ. මම ගොඩක් ආස කරන චරිතයත් තමයි මාලිනි අක්කා. එයාගේ තරුණ කාලේ දකිනකොට මට තාමත් පිස්සු හැදෙනවා කියලා මම ඇයටම කියලා තියෙනවා. ඇය තාමත් ලස්සනයි. එහෙම බලද්දී මට හිතෙනවා මම කවුද කියලා.

තිළිණි කෞෂල්‍යා විජේසිංහ