Saturday

අපි හරි වාසනාවන්තයි චාමිකර

කෝඩු හීන
හැබෑ 
කරමින්......

ඉකුත් අප්‍රේල් 9 පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ප්‍රධාන ශාලාව අතුරු සිදුරු නැතිව පිරී ඉතිරුණා. ගායනයට කිරිකෝඩු පාසල් දරුවො දෙන්නෙක්ගෙ දෙසිත්වලත් සතුට දෝරෙ ගැලුවා...

පාසලක් තමන්ගෙ ඇකයෙ හැදී වැඩුණු දරුවො දෙන්නෙක්ට මිල කරන්න බැරි යුතුකමක් ඉටු කළා... සහන් චාමිකර පෙරේරා, තිලක්ෂි නිමාෂා මධුවන්ති ගායන ලෝකෙට පය තැබුවේ තම පාසල් මවගේ සෙවණේ, දෙගුරුන්ගේ ආශීර්වාද මධ්‍යයේ.

සහන්ටත්, තිලක්ෂිටත් යන මාවත සකස් කර දුන්නේ වෙන කවුරුවත් නෙවෙයි පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිතුමන් සහ ආචාර්ය මණ්ඩලය. 'කිරිකෝඩු සිනා' ගී එකතුව ගායනයට කිරිකෝඩු සහන්ටත්, තිලක්ෂිටත් ආශීර්වාදයක් වෙන්නෙ ඒ විදියට.

"කිරිකෝඩු සිනා ගී සමුච්චිය ගෙන එන ගී රස චමත්කාරයේ අපූර්වත්වය විඳීමේදී මෙවන් නිර්මාණශීලී දරු පරපුරක් බිහිකරන මගේ පාසලේ ගුරු පරපුර පිළිබඳ ඇති වූයේ අසීමිත ගෞරවයකි. ආඩම්බරයකි."

මෙහෙම කියන්නේ කිරිකෝඩු සිනා වෙනුවෙන් තනු නිර්මාණය කළ ආචාර්ය රෝහණ වීරසිංහ.
රැල්ලට නවක ගායක ගායිකාවෝ බිහිවෙන මේ කාලේ පාසලක් සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයො එක්ක ගායන ලොවට තිළිණ කළ කෝඩුකාර ගායකයාව සහ ගායිකාව සොයාගෙන අපි පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට ගියා.


දරුවන්ගේ හැකියාවට සුදුසු වේදිකාවක් හදලා දුන්නා...

'කිරිකෝඩු සිනා' ගී එකතුව නිසා ගායනයට කිරිකෝඩු සහන්ගෙත් තිලක්‍ෂිගෙත් හිත්වලට හිනා පිරුණා. ඒ හිත්වලට හිනාව පුරවපු ඔබට අද ඔවුන් ගැන ආඩම්බර ඇති...?

ඔව්. දක්‍ෂ දරුවො දෙන්නෙක්ට එයාලගෙ දක්‍ෂතා පෙන්වන්න වේදිකාවක් හදල දුන්නා කියන සතුට දැනෙනවා... හැබැයි ඒ හපන්කම මම තනියෙන්ම කළේ නෑ... මගේ ආචාර්ය මණ්ඩලය, ආචාර්ය රෝහණ වීරසිංහ, හේමලාල් ගීතදේව වැනි හිත හොඳ මිනිසුන්ගේ උදව් උපකාරයෙන් තමයි 'කිරිකෝඩු සිනා' බිහි වුණේ.

පාසලක දක්‍ෂයො බොහොමයක් ඉන්නවා. ඒ අතරින් දෙන්නෙක් විතරක් සුවිශේෂී වුණේ කොහොමද?
අපේ විද්‍යාලයේ අවුරුදු දෙකකට වතාවක් සෞන්දර්යය අංශයේ දරුවන් වෙනුවෙන් 'සංකලන' නමින් ප්‍රසංගයක් පවත්වනවා. ඒ ප්‍රසංගවලදී ඉස්මතු වුණු දරුවො දෙන්නෙක් තමයි සහන් සහ තිලක්‍ෂි කියන්නේ... දරුවන්ගේ හැකියාවන් හඳුනා ගැනීම වගේම ඒ හැකියාවන්, වැඩි වර්ධනය කරගන්න අතහිත ලබා දීම පාසලක් විදියට ගුරුවරු විදියට අපේ වගකීමක් කියලයි මට හිතෙන්නේ. අපි මේ වගේ අගය කිරීම් කරන කොට අනිත් දරුවන්ටත් ඒක ආදර්ශයක් වෙනවා.

ආදි ධර්මපාලියකු වූ රෝහණ වීරසිංහයන් තනු නිර්මාණය කිරීමෙන් පමණක් සැනහී නැහැ...?
ඔහු අපේ රටේ විශිෂ්ට සංගීතවේදියෙක්. ඒ විශිෂ්ටයා අපේ පාසලේ සම්පතක් වීම අපට ආඩම්බරයක්. පාසලේ හැම කලා කටයුත්තකදීම අපිට උදව් කරන ඔහු 'කිරිකෝඩු සිනා' වෙනුවෙන් තනු නිර්මාණය කළා වගේම අපේම ගුරුවරයෙක් වුණු ඉදුප්‍රිය උදිත මහත්මයා රචනා කරපු ගීතයක් ගායනා කළා... ඒ ගීතයත් මේ ගීත එකතුවේ තියෙනවා... එතැනිනුත් දරුවන්ට හොඳ පූර්වාදර්ශයක් දෙන්නයි ඔහුට ඕනෑ වුණේ... අනෙක් විශේෂ කාරණෙ පාසලේ ගුරුභවතුන් තමයි ගීතවල පද රචනා කළේ..

පන්නිපිටිය ධර්මපාලයේ දරුවන්ගේ කුසලතා ඇගයීම කිරිකෝඩු සිනාවෙන් නොනවතී නේද?
ඔව්. ලබන වසරෙදි අපේ විද්‍යාලයට අවුරුදු 75යි. ඒ වෙනුවෙන් බොහෝ දේවල් කරන්න අපි සූදානම් වෙනවා. දරුවන්ගේ දක්‍ෂතා ඇගයීමත් ඒ අතර ප්‍රධානයි.


අපි හරි වාසනාවන්තයි...
හැකියාව ඕනෑවටත් වඩා තියෙද්දී අත දෙන්න කවුරුත් නැති නිසා හැකියාවන් එක්කම හීනත් කුඩුපට්ටම් කරගන්න තරුණ තරුණියෝ ඕනෑ තරම්. ඒ අය අතරේ ඔය දෙන්නා වාසනාවන්තයි කියලා හිතන්නේ නැද්ද සහන්...?


ඇයි නැත්තේ..? ලංකාවේ කිසිම පාසලක නොකරන දෙයක් තමයි අපේ ඉස්කෝලේ අපි දෙන්නා වෙනුවෙන් කළේ. අද කාලේ හැටියට හොඳ ගීතයක් නිර්මාණය කරන එක අපි වගේ අයට හීනයක්. කොහොම හරි ගීතයක් කරගත්තත් ප්‍රවීණයෙක්ගේ ගුරුහරුකම්, ආශීර්වාදය කියන එක නම් සල්ලිවලටත් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි හුඟාක් වාසනාවන්ත වෙන්නේ ගීත එකතුවක් වගේම අඩුවක් නැතිව ප්‍රවීණයන්ගේ ආශීර්වාදය, උදව් උපකාර ලැබුණු නිසා.

කවදාහරි ගායිකාවක් වෙන්නද හීන දැක්කේ තිලක්‍ෂි....?
මම උසස් පෙළට සංගීතයත් විෂයයක් හැටියට හදාරනවා. සංගීතයෙන් ඉදිරියට යන්න කැමැත්තෙන් හිටියේ. ගායිකාවක් වෙන්න කැමතියි. ඊටත් වඩා සංගීතය පිළිබඳ කථිකාචාර්යවරියක් වෙන්නත් කැමතියි.
එතකොට සහන්....?
මම සංගීතය විෂයයක් හැටියට නම් ඉගෙන ගත්තෙ නෑ.... ඒත් කවදාහරි මගේම කියලා ගීතයක් කරන්න නම් හීන දැක්කා.


ඉගෙන ගත්ත පාසලෙන්ම යන මාවත හෙළි පෙහෙළි කරලා තියෙනවා.... පාර වරද්ද ගන්නේ නැතිව යන්න හිතේ හයිය තියෙනවාද?
මෙච්චර දේවල් කරලා දීලත් පාර වරද්දා ගන්නවා නම් ඒක අපේ වැරද්දක්. මට විතරක් නෙවෙයි තිලක්‍ෂි නංගිටත් හරි පාරේ යන්න හිතේ හයිය තියෙනවා. ආශීර්වාදයත් තියෙනවා.

ලැබෙන ප්‍රතිචාර හොඳයිද තිලක්‍ෂි....?
ඔව්. ගීත එකතුව එළිදක්වපු වෙලාවෙ ප්‍රවීණයන් කීපදෙනෙක් ඇවිත් හිටියා. ඒ හැමෝම අප දෙන්නගේ හැකියාව අගේ කළා. සුබ පැතුවා. ඒ වගේම ගීත අහපු හුඟ දෙනෙක් කතා කරලා සුබ පැතුවා.

උදව් කරපු අය ගැනත් කතා කරමු සහන්...?
විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට, රෝහණ වීරසිංහ සර්ට, හේමලාල් ගීතදේව මහත්තයට, අපි ගයපු හැම ගීතයක්ම රචනා කළේ අපේ ගුරුවරු. ඒ අයට, සෞන්දර්යය අංශ භාර ඉන්ද්‍රප්‍රිය උදිත කුමාර සර්ට අපි දෙන්නා ස්තූති කරලා මදි. පින් දෙන්නත් ඕනෑ.... ඒ වගේම ධර්මපාලේ සිසුන් වීම ගැන අවංකවම ආඩම්බර වෙනවා.

අනාගතය ගැනත් බලාපොරොත්තු ගොඩක් ඇතිනේ....?
හොඳ ගායකයෙක් වෙන්න ඕනෑ. ඒත් රැල්ලට යන්න නම් අවශ්‍ය නෑ. මුල් ශක්තිමත් විශාල ගහක් වෙන්න ඕනෑ. නැත්නම් පොඩි හුළඟටත් කඩා වැටෙනවානේ. හදිස්සියක් නෑ. හෙමින් හෙමින් හීන හැබෑ කරගන්නවා.

එතකොට තිලක්‍ෂි...?
දැන් ලොකුම බලාපොරොත්තුව උසස් පෙළ විභාගය. ඊට පස්සේ සහන් අයියා කිව්වා වගේ හෙමින් හොඳ ගමනක් යන්න ඕනෑ.

හිමේෂා සවන්ති රාජපක්‍ෂ
ඡායා :- අසන්ත ගමආරච්චි