Thursday

මීනා කුමාරිගේ ජීවිත කතාව සිනමාවට

කුඩම්මාගේ ජීවිත කථාව තිරයට ගෙන ඒමට තරම් ළෙන්ගතු පුතකු මූම්බායි පුරවරයේ ජීවත් වෙයි. ඔහු කමල් අම්රෝහි ප්‍රවීණ අධ්‍යක්ෂවරයාගේ පුතු තජ්දර් අම්රෝහිය. කුඩම්මා සම්මානනීය ජනකාන්ත තාරකාව මීනා කුමාරිය.

මීනාගේ චරිතය රඟපෑමට නවක නිළියක මේ දිනවල ඔහු සොයමින් සිටින්නේය. තම පියාගේ එනම් සිනමාවේදී කමල් අම්රෝහිගේ දෙවැනි බිරිය, මීනාගේ චරිතය ඔහුට තිරයට ගෙන ඒමට අවශ්‍ය වී ඇත්තේ ඔවුනගේ ආදර කථාවේ සැඟවුණු සත්‍ය ලොවට ගෙන ඒමටයි.


මීට හතළිස් දෙවසරකට පෙර අධික මත්පැන් පානය නිසා සිරෝසිස් රෝගයෙන් මීනා මිය ගියාය. ඒ වයස අවුරුදු තිස් නවයක් තරම් අඩු වයසකදීය. මීනා, කමල් අම්රෝහි සමඟ පෙමින් බැඳුණේ 1952 දී සිනමා දර්ශන තලයකදීය.

ඔහු මීනාට වඩා පහළොස් වසරක් වැඩිමල් විය. විවාහ වූ අලුතම දෙදෙනාගේ ආදර කථාව දඒරා (1953) නමින් මීනාත්, කමලුත් තිරයට ගෙන එන ලදී. සිය ආදර කථාව ඇතුළත්කර තවත් සිනමාපටයක් කිරීමට දෙදෙනාටම අවශ්‍ය වුවත්, සිතූ තරම් ඉක්මනින් ඒ පැතුම ඉටුකර ගත නොහැකි විය.

ඔවුන්ගේ සිහිනය මල්පල ගැන්වුණේ දහසය වසරකට පසුවයි. ‘පාකීසා’ ඒ විශිෂ්ට සිනමා නිර්මාණයයි. සිනමාපටය 1972 පෙබරවාරි 4 වැනිදා මීනා මිය යාමට මාස දෙකකට පමණ පෙර තිරගත විය. මීනා, ඔමාර් ඛයියාම් මෙන් ගී පොතයි, මීවිතයි, ආදරයයි, ජීවිතය කරගත්තියකි.

දිළිඳුකම නිසාම වරක් පියා ඇය අනාථ නිවාසයකට පවා භාර දී තිබේ. අවසානයේදී ළමා වියේ සිට රඟපෑමෙන් පවුලම ජීවත්කර තිබෙන්නේ ද ඇයමය. මිය යන විට සිනමාපට අනූවකට වැඩි සංඛ්‍යාවක රඟපා තිබුණ ද, හොඳම නිළිය ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මාන හතරක් දිනාගෙන තිබුණ ද ඇය අවසන් හුස්ම හෙළුවේ අතේ සතයක් නැති අසරණියක ලෙසයි. ඇය මිය ගිය පසු රෝහල් බිල් ගෙවීමට මුදල් පවා තිබී නැත.

තජ්දර්ට අවශ්‍ය කුඩම්මාත්, පියාත් අතර සෙනෙහස බිඳ වැටුණේ ඇයට මවක වීමට ඉඩ නුදුන් නිසා බවට ඇති කතාව සත්‍යයක් නොවන බව ලොවට පෙන්වීමටයි. ‘මගේ තාත්තා සුළු මවගේ ජීවිතයට දුෂ්ටයකු වූයේ නැහැ. ඇය දෙවරක්ම ගැබ් ගත්තත්, ගබ්සා වී තිබෙනවා. මේ ඇත්ත ලෝකයට පෙන්වන්න ඕනෑ’ ඔහු පවසන්නේය.

සිනමාපටය මූම්බායි හි ජනාකීර්ණ වීදිවල රූගත කිරීමට තජ්දර් බලාපොරොත්තු වන්නේය. ඔහු ද පියා මෙන්ම අධ්‍යක්ෂණයට, පිටපත් හා ගීත රචනයට දස්කම් දක්වන්නෙකි.

චම්පිකා දීපානි රණසිංහ