Saturday

රොඩ්නියි ටෙනියි නයයි මුගටියයි වගේලු...

වේදනාව දරාගෙන
හැමෝම හිනා
ගස්සපු අවස්ථා...

සුපිරි අන්දරේලා මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් තිරගත වන සිනමා නිර්මාණයක්. වෙනසට කැමැති මිචෙල් ෆොන්සේකා හාසේ‍යාත්පාදක චිත්‍රපටයක් ලෙසයි සුපිරි අන්දරේලා තිරයට ගෙනෙන්නේ.

කණපිට මුල්ල මන--කල්පිත නගරයේදී තරුණයන් වයසට ගියෙත් වයසින් මුහුකුරා ගිය පුද්ගලයන් තරුණයන් වුණෙත් මිචෙල්ගේ අපූරු පෙරළියකින් කිව්වොත් හරි. සුපිරි අන්දරේලා සිනමා නිර්මාණයේ ගලිවර් සහ අන්දරේ තුළ ජීවත්වෙන ප්‍රධාන චරිතය ටෙනිසන් කුරේ.


ගලිවර් සහ අන්දරේ වෙන්න පහසු නෑ. ඒත් ටෙනිසන් කුරේ ඒ චරිත ද්විත්වය තුළ අපූරු හැඩතල මැව්වා. ගලිවර් වගේම අන්දරේ වෙන්න ගිහින් ටෙනිසන්ටත් ඔය දෙන්නම පැටලුණ තැන් ඕන තරම්. ඒ නිසා ගලිවර් වගේම අන්දරේවත් ටෙනිසන්ට නිතරම මතක් කරන්න මිචෙල්ට සිද්ධ වෙලා. හැබැයි ඉතිං ගලිවර් අන්දරේ පැටලිලා රූපගත වුණ දර්ශනවල පැටලුම්, දෙබස්වලින් ලිහා ගන්න ටෙනිසන්ට පුළුවන් වුණාලු.

ටෙනිසන්ටත් සමහර වෙලාවට තමන්ගේ වයස අමතක වෙනවලු. සුපිරි අන්දරේ රූගත කරන දවස්වල නිවෙසට ආපු වෙලාවක මුනුපුරා එක්ක ක්‍රිකට් ගහද්දී උඩ පන්දුවක් රකින්න ගිහින් වුණ අකරතැබ්බයෙන් පස්සේ ටෙනිසන්ට වයස මතක් වෙලා. ඒ වගේම රූගත කිරීම්වලදී පන්දු රකින්න ගිහින් ඩැමේජ් වුණ කකුල අමතක කරලා ලක්ෂිකාත් එක්ක තේවතු වල දුවලා පැනලා නටන්නත් ටෙනිසන්ට සිද්ධ වෙලා. කකුලේ වේදනාව දරාගන්න සිද්ධ වුණත් හැමෝම හිනා ගස්සපු නිසා ටෙනිසන්ට දැනුණ වේදනාව අමතක කරන්න පුළුවන් වුණාලු.

ටෙනිසනුයි රොඩ්නියි මේ නිර්මාණයේ නිතරම රණ්ඩු වෙන නිසා තිරයෙන් පිටතදීත් දෙන්නා ඒ විදියටම ගනුදෙනු කරනවා කියලයි අපිට ආරංචි වුණේ.

එහෙම අවස්ථා දැකපු රසිකයෝ එකම ක්‍ෂේත්‍රයේ ඉන්න කලාකරුවෝ විදියට රණ්ඩු දබර කරගන්න හොඳ නැති විත්තිය මේ දෙන්නට මතක් කරලා දීලා. හැබැයි ඉතිං තිරයෙන් පිට කරපු ඒ දෙබස් හුවමාරුව රූගත කිරීමේදී තිබුණ මූඩ් එකෙන්ම දෙන්නා කරපු රඟපෑමක් කියලා ටෙනිසනුයි, රොඩ්නියි තමයි දන්නේ.

රොඩ්නි මේ නිර්මාණයේ දුවනවා, පනිනවා, සෙටි උඩ නඟිනවා ඉවරයක් නෑනේ. රොඩ්නිගේ මේ ගති නිසා සුපිරි අන්දරේ නිර්මාණයේ රොඩ්නිගේ නිවෙස රූගත කිරීමෙන් අයින් කරන්න සිද්ධ වෙලා. රොඩ්නියි, ටෙනිසනුත් රංගනයේදී කරන කලබල කිරීම්වලදී නිවෙසේ තිබ්බ පුටු, මේස පරිස්සම් කරගන්න බැරි වුණ නිසා නිවෙස අයිති අය රූගත කිරීම්වලට නිවෙස දෙන්න අකමැති වෙලා. ඒ නිසා කරන්න හිටපු දර්ශනය ඉවත් කරලා රූගත කිරීම කරන්නත් සිද්ධ වෙලා.

තිස්ස විජේසුරේන්ද්‍ර කියන්නෙත් හැත්තෑව දශකයේ ප්‍රේක්ෂකයන් දිනාගත් රංගන ශිල්පියෙක්නේ. ඔන්න කාලෙකට පස්සේ තිස්ස විජේසුරේන්ද්‍රට සනෝජත් එක්ක ගීතයකට රංගනයක යෙදෙන්න සිද්ධ වුණා. ඉස්සර වගේ දුවලා පැනලා නටන්න බැරි වුණත් තිස්සගේ තිබුණ කකුලේ අමාරුවත් වහන් කරගෙන නටන්න සනෝජාගෙන් හොඳ සහයෝගයක් ලැබිලා.

සනෝජා මේ සිනමා නිර්මාණයේ ඇල්ලකට දෙපා ඔබාගෙන ඉන්න දර්ශනයක් තියෙනවා. කූඩැල්ලන් වැඩිපුර ගැවසෙන තැනක වුණත් බයක් නැතුව රඟපාන්න සනෝජා කැමැති වෙලා. හැබැයි ඉතිං ටෙනිසන් වගේම සෙට් එකේ හැමෝම සනෝජට චියර් කරපු නිසා කූඩැල්ලෝ ගණන් ගන්නැතුව රඟපාන්න සනෝජට පුළුවන් වුණාලු. හැබැයි ඉතිං ඒ රූපගත කිරීම් අතරවාරයේ සනෝජගේ කටින් අයියෝ... අම්මෝ... වගේ වචන පිටවෙනවා නිතරම ඇහුණා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ.

මිචෙල් ෆොන්සේකා කියන විදියට ටෙනිසන්. රොඩ්නි ඉන්න තැන සිනා උල්පතක්. ඒ නිසා මිචෙල්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය සිනා සාගරයක් මැද සාර්ථකව නිම කරන්න පුළුවන් වුණා කියලා මිචෙල්ම තමයි අපිට කිව්වේ.

එලෙස නිර්මාණය වුණ සුපිරි අන්දරේ සිනමා සිත්තම දැන් තිරගත වෙනවා. සිනා සාගරයක කිමිදෙන්න කැමැති නම් සුපිරි අන්දරේ ඔබ වෙනුවෙන්මයි.

තිළිණි කෞෂල්‍යා විජේසිංහ
ඡායා - අසන්ත ගමආරච්චි