Thursday

අපි දෙන්නා හැම දෙයක්ම කරන්නේ එළිපිට - කසුන්

නිල්වන් ජලාසේ දියරැල් අපි දෙන්නව ළං කළා ආදරය මට ආගන්තුකයි - චේතනා

නිල්වන් ජලාසේ දියරැල් සිනාසේ
කිමිදෙන්න පීනා හද විලෙහි මාගේ
සඳකැන් වැටිලා පෙම්වන්ත යායේ
නැලවෙන්න ඕනා තුරුළේ ඔයාගේ

කීර්ති පැස්කුවල් පුතු කසුන් පැස්කුවල් සහ දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරගාවලයේදී අපට හමුවූ චේතනා රණසිංහ හඬ මුසු කළ මේ ගීතය තාරුණ්‍ය අතරේ වඩාත් ජනප්‍රිය එහි ඇති ප්‍රේමණීයකම නිසාමයි. ඔවුන් දෙපොළ හරිම ආදරණීයව මෙය ගයලා තියෙනවා කියලා.



එය රස විඳි බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනවා. ඒ විතරක් නෙවෙයි නිලවන් ජලාසේ රූප රචනයේ කසුන් සහ චේතනා රඟපාන්නේ කිසිදු අතාත්ත්වික ගතියක් නැතුව. හරියට ඒ දෙන්නා සැබෑ ලොවේදිත් ආදරවන්තයින්දෝ කියලා වීඩියෝව නරඹද්දී අපට හිතෙනවා. එහෙම කියන්නේ හේතු සාධක ඇතුව. කසුන්, චේතනා ජනප්‍රිය රංගන ශිල්පිණියකගේ උපන් දින සාදයකදී අප නෙත ගැටුණා. දෙන්නා එදා නම් හිටියේ යාළුවෝ වගේ නම් නෙවෙයි. මේ හින්ද මේ දෙපොළ සරසවියට කැඳෙව්වේ ඇත්ත නැත්ත අහගන්න. අපි ප්‍රශ්න ඇහැව්වේ කසුන්ගෙන්. ඒ අතරතුර දී මැදින් පැන පැන චේතනාත් උත්තර බැන්දෙ හරිම පරිස්සමින්.

මට ඔය දෙන්නාගෙන් දෙයක් අහන්න තියෙනවා. ඊට කලින් කියමු නිල්වන් ජලාසේට ලැබෙන ප්‍රතිචාර කොහොමද කියලා?

හොඳටම හොඳයි අයියේ. අපි දෙන්නා ඒක නියම හැඟීමෙන් ගයලා තියෙනවලු. හරියට ආදරවන්තයින් වගේ. අහන අයයි එහෙම කියන්නේ.

මම එතනට තමයි එන්න හැදුවෙ? ඇත්තටම ඔයාලා ආදරවන්තයින් නේද?

මට ඒක දැන්මම කියන්න බැහැ.

ඇයි නිශ්චිත උත්තරයක් දෙන්නෙ නැත්තෙ?

ආදරය කියන විෂය මට ආගන්තුකයි. මම දෙන පිළිතුරුවලින් මට හරි චේතනාට හරි හානියක් වුණොත්.

ඇයි මේ යුග ගීතයට ඔබ චේතනාවම තෝර ගන්නේ?

ඇය මගේ තාත්තගේ ගෝලයෙක්. ඇයගේ දක්ෂතා මම දැකලා තියෙනවා ක්ලාස් එකේදී. ආයෙ ඉතින් අමුතුවෙන් වෙන කෙනෙක් හොයන්න ඕනෑ නැහැනේ.

ඔබ චේතනාගේ සමීපතමයකු වන්නට උත්සාහ කරන බව පේනවා?

ඒ කිව්වේ?

ඇගේ ආදරවන්තයා වෙන්නට?

එහෙම ලෙහසියෙන් ඇගේ සිත දිනා ගන්න අමාරුයි.

ඒ කියන්නේ ඔබ චේතනාගේ හිත දිනා ගන්න ට්‍රයි එකක් දීලා තියෙනවා?

නැහැ. මට එහෙම හිතෙනවා.

ඇයි අයියේ ඔයා කසුන්ව අමාරුවෙම දාන්න හදන්නේ?

චේතනා එහෙම ඇහැව්වේ කසුන්ව හිර වෙන්න හදන මොහෙතෙදිමයි.

මොකද චේතනා? කසුන් පවි කියලා හිතුණද?

එහෙම නෙවෙයි, ඉතින් ඔයා හරිම නරකයි. සී. අයි. ඩී. එකෙන් වගේ ප්‍රශ්න අහන්නේ.

චේතනා ඔච්චරටම කසුන් ගැන හිතන්නේ, යාළුකමට එහා ගිය සම්බන්ධයක් තියෙනවා වගෙයිනෙ?

මම එයට පිළිතුරු දීමෙන් වැලකී සිටිනවා.

බැරි වෙලාවත් චේතනාට කසුන් විවාහ යෝජනාවක් ගෙනාවොත්?

ඒක ඒ වෙලාවට බලමු.

ඒ කියන්නේ චේතනා කසුන් එහෙම අහනකම් බලාගෙන ඉන්නවා?

කාලයට ඉඩ දීලා බලාගෙන ඉමු.

චේතනා කසුන් ගැන මොනවද හිතන්නේ?

හරිම ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක්.

කසුන් කියන්නකෝ ඔබට දැනෙන පරිදි චේතනා මොන වගේ කෙනෙක් ද කියලා?

එයාට තියෙන හොඳම ගති ගුණය තමයි මුල අමතක නොවීම. මට ඒ ගති ගුණය විතරක් ප්‍රමාණවත් ඇයව මැනීමට.

හැංගි හැංගි වෙස්මූණු බැන්දට නටන්න වෙන්නේ එළිපිට නේද චේතනා?

අපි නම් හැංගි හැංගි නටන්නේ නැහැ. වෙස් බඳින තැන ඉඳලම එළිපිට කරන්නේ.

චේතනාව වෙන කෙනෙක් අයිති කර ගත්තොත් කසුන්ට මොනවා හිතෙයිද?

තවම මම එච්චර දුරට හිතලා නැහැ. ඒක ඒ වෙලාවට බලමුකො.

ඔය දෙපොළ නිතර නිතර එකට ප්‍රිය සම්භාෂණවලට යනවා මම දැකලා තියෙනවා.

අපේ මේ යුග ගීතය නිසා හැමෝම අපිට ආරාධනා කරන්නේ එකට. ඇතැම් විට ගීත නොකියන උත්සවවලට පවා දෙන්නට ආරාධනා කරනවා. මේ සිංදුව අපිව ගොඩක් ළං කලා කියලා හිතනවා.

කසුන් සහ චේතනා එලෙස කතාව හමාර කළත් මට නම් හිතුණෙම මේ දෙදෙනා ළඟදීම විවාහ වන බවක්. හැබැයි තවම මේ අය ඒ පිළිබඳ කිසිම දෙයක් හරියාකාරව හෙළි කළේ නැහැ. අලුත් ගීතයත් සමඟ කසුන්ට හා චේතනාට නොසිතූ විරූ ජනප්‍රියත්වයක් ලැබුණු නිසා දෙන්නම ඉන්නේ හරිම සතුටින්. කෙසේ නමුත් තකට තක ඉන්න කසුන්ට සහ චේතනාට වාසනාවන්ත අනාගතයකට අපි සුබ පතනවා.