Friday

අනාගතය ගැන තිතටම පේන කියන මුදලාලි කෙනෙක්‌!

සංගාත් හැඩයි.....
එයාගෙ වැඩත් හැඩයි....
එයාගේ කතාවත් හැඩයි නේද?

සමහර රටවල පුංචි ළමයින් එක්‌ක සන්සන්දනය කරලා බලන කොට අපේ රටේ පුංචි ළමයි ඇත්තටම හරිම අහිංසකයි. මල් වගේ... සමහර ළමයි "හා පැටවු" වගේ. මේ සටහනත් එක්‌ක මේ පිටුවේ පළවන පින්තූරය දිහා ටිකක්‌ බලන්න.

ඒ පින්තූරයේ ඉන්නේ යම්කිසි උද්ඝෝෂණයක යෙදී සිටින තරුණ භික්‍ෂුවක්‌. වැඩි ඈත දවසක නෙවි..



මේ ඊයේ පෙරේදා දවසක, පත්තරේ පළවුණු පින්තූරයක්‌.

ඉතින් ඒ හාමුදුරුවන්ව දැකපු පාසල් වෑන් රියක නැගලා ගෙදර යන චූටි බබාලා කට්‌ටියක්‌, වෑන් එකේම ඉඳගෙන අර හාමුදුරුවන්ට "සාදු.. සාදු..." කියලා වඳිනවා. ඒ නිසයි මං මුලින්ම කීවේ අපේ රටේ පුංචි ළමයි හරිම අහිංසකයි කියලා. ඉතින් මේ සතිය පටන් ගන්නවාත් එක්‌කම ක¹නේ දි මැසිනද් විදුහලේ ඉගෙනුම ලැබූ මේ වගේ පුංචි පැටියෙක්‌ තමයි කාලකණ්‌ණි වෑන් ඩ්‍රයිවර් කෙනෙක්‌ අතින් අපිට අහිමිවුණේ.

ඒ පුංචි පුතාගෙ වයස අවුරුදු 8 යි. නම තරිඳු දිල්හාර.. තරිඳු හැමදාම පාසලට එන වෑන් එකේ ඩ්‍රයිවර් මහත්තයා චාමික රන්දෙණිය. තරිඳුගේ මරණ පරීක්‍ෂණයේදී "මේ ළමයාට මං කියන්නේ හා පැටියා" කියලයි චාමික කිව්වේ. තරිඳුව මරලා දාපු වෑන් එකේ බ්‍රේක්‌වත් හරියට තිබිලා නැතිලු, අනේ මන්දා.. මේවාට වගකිව යුතු අයට මොනවා කළ යුතු=ද කියලා.

ඒ එක්‌කම මේ සතිය පටන් ගත්තේ තරුණ සරසවි සිසුවියන් දෙදෙනකුගේ සාහසික ඝාතන දෙකකින්. එක්‌ ඝාතනයක්‌ සිදුවුණේ ඇල්පිටියේදී... අනිත් එක මාතලේ.. ඇල්පිටියේ සිසුවියගේ නම බිමාෂා ගයන්තී ත්‍රිමාණ... ඇගේ ඝාතකයා යුද හමුදාවේ සෙබළෙක්‌ වන ඇයගේ පෙම්වතා. මාතලේ බාහිර උපාධි අපේක්‍ෂිකාවගේ නම ලලනී නදීෂා වරාපිටිය... ලලිනීගේ මාරය තවමත් නිදැල්ලේ..

කොහොම හරි හමුදා සෙබළ පෙම්වතා එදා බිමාෂා හමුවෙන්න ඇල්පිටියට යන ගමන්, කොළඹ මල්වත්ත පාරේ කඩේකින් සෙන්ටි මීටර් 10 ක්‌ දිග පිහියකුත් සල්ලිවලට අරගෙන තියෙනවා. ඒ පිහිය ගනිද්දී සෙබළා කඩේ මුදලාලිට කිව්වලු "අපි මේ කැලේ යන කොට තැඹිලි ගෙඩියක්‌ එහෙම කපන්න පිහියක්‌ තමයි මට ඕනෑ" කියලා. එතකොට මුදලාලි කිව්වලු... "කැලේ කොහේද ළමයෝ තැඹිලි තියෙන්නේ.... ඔයාට ඕන මේ වගේ පිහියක්‌ නේද...?" කියලා ඒ පිහිය තෝරලා දුන්නලු.

ඒ උනාට සෙබළා කියන්නේ බිමාෂා එක්‌ක කතා කරද්දී පහළවුණු හදිසි කෝපය මෙල්ල කර ගන්න බැරිවුණු නිසා පිහියෙන් ඇන්නා කියලා. කාට කියන්නද.....? අර මුදලාලිට ඉදිරිය ගැන පේන කියන්න පුළුවන්ද දන්නේ නැහැ.....

මෙහෙම ලියාගෙන යද්දී මට මතක්‌ වුණා මේ ඊයේ පෙරේදා පත්තරයකට ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විඡේසිංහ ප්‍රකාශ කර තිබූ කතාන්දරයක්‌. අපේ මිත්‍ර රත්න ශ්‍රී කියලා තිබුණේ මෙහෙමයි....

"ප්‍රේමය තුළ මතුවන සැකසංකා හා දෙදරීම් මත පෙම්වතාගේ අතින් ඝාතනය වූ ප්‍රථම සරසවි සිසුවිය බිමාෂා ගයන්තී නොවේ. මීට විසි වසරකට පෙර මධුවන්ති ගුණවර්ධන උපාධි අපේක්‍ෂිකාව ඝාතනය වූයේ කැලණිය සරසවි භූමිය තුළදී. ප්‍රේමය තුළ උද්ගතවන අලකලංචි නිසා පෙම්වතා විසින් පෙම්වතියව ඝාතනය කිරීමේ සිද්ධි එවකට අසන්නට ලැබුණේ නැති තරම්.

එබැවින් මධුවන්ති ගුණවර්ධනගේ මරණය එදා රටේ ඉමහත් ආන්දොaලනයක්‌ ඇති කළ ශෝකජනක සිද්ධියක්‌. එහෙත් මේ වන විට ප්‍රේමයේ විරහ වේදනාව, රැවටීම, ප්‍රතික්‍ෂේප වීම නිසා පෙම්වතා හෝ ප්‍රේමාරාධනා කළ තරුණයා විසින් තරුණියන්ව මරා දැමුණු කතා නිමක්‌ නැත"

රත්න ශ්‍රී ගේ අදහස අනුව ඉතිහාසයේ අපට හමුවන හොඳම පෙම්වතා කුස රජුය. සිය දුක්‌ සන්තාපයන් දරා ගනිමින්, ප්‍රේමය වෙනුවෙන් ඔහු විශාල බැලමෙහෙවරක යෙදී ඇත. ඒක නම් ඇත්තම ඇත්ත කතාවකි.

කළුබෝවිල රෝහල ඩෙංගු රෝගීන්ගෙන් තවමත් පිරිලා. ගිය සතියේත් අපි ඒ ගැන කතා කළ නිසා මේ සතියේ ඒ ගැන වැඩිය කතා නොකළත් ඒකත් මහා බරපතල ප්‍රශ්නයක්‌. කාගෙ කාගේත් අවධානය යොමු වෙන්නම ඕනෑ...

මාතර නිල්වලා ගඟ අසරණ මිනිසුන්ගේ ජීවිත බිලි ගන්නවාද... නැත්නම් අසරණ වූ මිනිසුන් නිල්වලා ගඟට බිලි පුදනවාද......... යන ප්‍රශ්නය මේ සතියේත් අපට අසන්නට ලැබුණා. ඒ විශ්‍රාමික බැංකු නිලධාරියෙක්‌ නිල්වලා ගඟට පැන මියගිය පුවත නිසා.... එයාට තනිකම (හුදකලාව) දරා ගන්න බැරිව ගඟට පැන්න බවයි කලින් ලිපියක ලියලා තිබුණේ. නිල්වලා ගඟ සැර වැඩිවෙලාද? මිනිසුන්ගේ මෝඩකම් වැඩි වෙලාද?

මීට දෙසතියකට පමණ පෙර නාකුළුගමුව පහත්ගාව සමෘද්ධි බැංකුවේ සහකාර සමෘද්ධි කළමනාකාරිණියද නිල්වලා ගඟට පැන සිය දිවි හානිකර ගත්තා.

ඊට අමතරව දික්‌වැල්ල ප්‍රදේශයේ අවුරුදු 2 හා 4 දැරියන් දෙදෙනකු නිල්වලා ගඟට විසිකර පියෙක්‌ සිය දිවි හානිකර ගත් කාලකණ්‌ණි පුවත අපට අසන්නට ලැබුණේත් මේ මෑතකදී...

එසේම ගිය සතියේ අසන්නට ලැබුණු තවත් සංවේදී පුවතකින් කියෑවුණේ, බියන්විල පදිංචි කේ. ඒ. ප්‍රේමරත්න මහතා කසළ ගොඩක තිබී අසුලාගත් රුපියල් 4700 ක මුදලක්‌ එය හිමිකරුටම ආපසු බාරදුන් ඉතා වටිනා ආදර්ශවත් සිද්ධියයි.

මීට කෘතවේදීත්වය පළකළ බියගම ප්‍රාදේශීය සභාවේ සියලුම මන්ත්‍රීවරුන් (සභාපති, විපක්‍ෂ නායක ඇතුළුව) රුපියල් 20,000 ක්‌ එකතු කරලා ප්‍රේමරත්න මහතාට පරිත්‍යාග කිරීමත් කොයිතරම් ලස්‌සන වැඩක්‌ද? ප්‍රේමරත්න මහතාගේ පින්තූරයක්‌ තිබුණා නම් ඒකත් මේ සමඟ පළ කරන්න තිබුණා. හොඳක්‌ කළොත් ඉඳලා හිටලා හරි හොඳ ලැබෙනවා....

මේ සතියේත් අපට වැඩිපුර අසන්නට ලැබුණේ කනගාටුදායක පුවත් නිසා පාඨක සිත් සතන් සතුටු කරවන පුවතකින් මේ සතියේ තීරුව අවසන් කිරීමට මම හිතා ගත්තා.

මේ කතාව අපේ සුපිරි ක්‍රිකට්‌ තරුව වන කුමාර සංගක්‌කාර ගැන. මේ සතියේ දිනක එංගලන්තයේ "ද ගාඩියන්" පුවත්පත සමඟ සාකච්ඡාවක්‌ පැවැත්වූ "කුමා" මෙහෙම කියලා තිබුණා.

පොඩ්ඩක්‌ නැවතිලා, ඒ ටිකත් කියවලා බලන්න...

"එදා අපි විස්‌සයි විස්‌ස ලෝක ශූරයන් වෙලා ලංකාවට ගිය දවස.... කටුනායක ගුවන් තොටුපළේ සිට කොළඹට කිලෝමීටර් 40 ක්‌ විතර තියෙනවා. ඒ කිලෝ මීටර් හතලිහේ එක දිගටම සෙනඟ පිරිලා සිටියා.. අපිව පිළිගන්න... ඒක හරිම සතුටක්‌... ජාතිය ආගම මොනවා වුණත් ශ්‍රී ලාංකික හැමෝම පාරේ හිටියා.

ඒක ඇත්තටම තමන්ගේ ආසාව මුදුන්පත් කළ එක පවුලේ දරුවන් පහලොස්‌ දෙනකු ආපසු ගෙදර එනකොට පිළිගන්නට හිටිය මහා පවුලක්‌ වගේ... මොකද.... ක්‍රිකට්‌ කියන්නේ ක්‍රීඩාවක්‌ විතරක්‌ නෙවි....."

සංගාත් හැඩයි..... එයාගෙ වැඩත් හැඩයි.... එයාගේ කතාවත් හැඩයි නේද?