එදා- මී වදයකී ජීවිතේ - මී පැණි පිරීලා ඇතේ අද - මල වදයකී ජීවිතේ - කරදර පිරීලා ඇතේ
අම්මපා මේ වෙලාවට තමයි දුලාගෙ අම්මවත් මතක් වෙන්නේ. කට කැඩෙනකල් කිව්ව පිළිගන්න එපා කියලා. කොහෙද ඉතිං.
“නෑ එයා එහෙම කියන්න ඇත්තේ බයට.”
“ආ... ඇත්තද? එතකොට උඹ බය නෑ. අඩෝ මේ මට පොත පෙරළන්න එන්න එපා හරිද? උඹේ අම්ම තාත්තා මොනවද කරන්නේ.”
ක්‍රයිම් ඕ.අයි.සී. රටේ නැති ප්‍රශ්න අහනවා. හැමදේම හංගන්න ගියොත් වැඩේ දෙල් වෙනවා. මම අපේ තාත්තා ගැන කිව්වාම උෟට හොල්මං.
“තාත්තගේ සිංදු කියලද ගෑනුන්ගේ හිත් ඇතුළට රිංගන්නේ ආ....”
මගේ කට උත්තරේ අරගෙන ආපහු කූඩුවට දැම්මා. දුලාට මාරාන්තික නැතත් බොසා ගහපුව ඉදිමෙන්න වැදිලලු. එක්ස්රේ තුන හතරකුත් අරගෙන. සීගිරි ගෙනාපු සුදු ෂර්ට් එකත් ඇඳගෙන උසාවි යන්න ලෑස්ති වෙනකොට තමයි නැන්දල ආවේ.
“දැන් ඉතින් කරන්න දෙයන් නෑ. කොහොම හරි නඩුව ගොඩදාගන්න බලමු.”
“අමුතුවෙන් ගොඩදාගන්න දෙයක් නෑ අයියෙ. මට මරණ දඬුවම හම්බවෙනවා.”
නැන්දයි, අක්කයි කෑගගහ අඬනවා. පොලිස්කාරයෙක් ගිහින් අහනව මැරිල ඉන්නේ පුතාද කියලා. අයියයි, සීගිරියි ලෝයර් කෙනෙක්ට කතා කරලා. මිනිහා කියනවා නඩුව පෙරළන්න පුළුවන් නිසා මට නිවැරැදිකරු කියන්නලු. පොලිසියේදී දුන්න කටඋත්තරේ උසාවිය පිළිගන්නේ නැතිලු. දුලාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දිගින් දිගටම නඩුව ගියොත්. අත්දෙකට මාංචු දාලා මාව උසාවි අරගෙන යනකොට සිරසෙ නිවුස් කොරස්පොන්ඩත් ඇවිත් හොඳට වීඩියෝ කළා. අද රෑ ක්‍රයිම් වොච් එකට දාන්න වෙන්න ඇති.
උසාවියෙන් මාව වැඩිදුර කරුණු විමසීම සඳහා පොලිස් අත්අඩංගුවේ තියාගන්න අවසර දුන්නා. බී වාර්තාවයි නඩු භාණ්ඩයි එක්ක ඊට පහුවෙනිදා මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුව ෆයිල් කළා.
“මරණයට හේතු වෙලා තියෙන්නේ ඔළුවට ගහපු පොලු පාර. අපිට මෙතැනදි තියෙන්නේ පුංචි ඉඩක් විතරයි.”
“ඒ මොකක්ද?”
“අනෙක් සැකකරු, ඒ කියන්නේ දුලාංජලී මානවඩු හොස්පිට්ල් ඇඩ්මිඩ් වෙලා ඉන්න එක. අපි කියන්න ඕනෙ ඔය දෙන්නා කතාකර කර ඉන්න කොට මිය ගිය තැනැත්තා පැමිණියා. ඒ අවස්ථාවේ ඇති වූ කතා බහ දුරදිග ගොස් ඔහු දුලාංජලී මානවඩුට පහර දුන්නා. ඇයව බේරාගන්න ඔයාටත් මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න වුණා. මියගිය තැනැත්තා දෙදෙනාටම පහර දෙන විට ඇතිවූ මරණ බිය නිසා අසල වූ පොල්ලෙන් ඔහුට ගැහුවා. එය සිදුකළේ මිනී මැරීමේ චේතනාවෙන් නෙවෙයි. තමන්ගේ ආත්මාරක්ෂාවට කියලා.
“එතකොට මොකක්ද තියෙන චාන්ස් එක.”
“මරණ දඩණ්ඩනයෙන් මෙහා දඬුවමක් තමයි ඉතිං.”
“කමක් නෑ. එතකොට දුලාට මොකද වෙන්නේ.”
“මේ මරණෙ සිද්ධ වෙලා තියෙන්නෙ ඔයාගෙ අතින්. ඒ වුණාට සිද්ධියට දුලාංජලී මානවඩුත් සම්බන්ධයි. ප්ලෑන් නොකර වුණාට අවසානයේ මර්ඩර් එකක් වෙලා තියෙනවා. අපි බලමු ඒ ළමයටත් පුළුවන් උපරිමය කරන්න.”
දුලා බේරෙන එක ගැන මට සතුටක් තියෙනව වගේම හිරේ යන්න බයකුත් තියෙනවා. සුරාජ් බොසාගේ පැත්තෙ කට්ටිය නඩුව කොළඹ උසාවියට අරගෙන. ලෝයර් කියපු විදියට නඩුව දිගට ඇදෙන එකක් නෑ. මාව වැටුණේ වැලිකඩ බන්ධනාගාරෙට. දුලාත් මේකෙම ගෑනු වාට්ටුවක ඉන්නවලු. සීගිරි සතියකට දෙපාරක් මාව බලන්න එනව. ඉතිරි දවස් දෙකක දුලාව බලන්න යනව. මූනං මාරම යාළුවෙක්. නැන්දත් සතියකට සැරයක් විතර එනවා. බන්ධනාගාරෙ ඇතුළෙ මරු මරු චරිත තමයි ඉන්නේ. මාව බලන්න එය අය වැඩි නිසා සැලකිල්ල හොඳයි. අරක්කු ගේන්නෙ වතුර බෝතල්වල දාලා. සමහරුන්ට නං ෆෝන් පවා තියෙනවා. රෑට ඇඟ පත අතගාගෙන වැඩේට සෙට් වෙන්න හදන එවුන්ගෙන් බේරෙන්න හරිම අමාරුයි. උන් තමයි හිරේ ඇතුළෙ චණ්්ඩි. ඉල්ලන දේ නොදුන්නොත් ඉතින් සදා ගුටි. සමහරුන්ට නං මගේ වයසෙ ළමයිනුත් ඉන්නව. මීගමුවෙ සරත් කියන අන්ඩර් වර්ල්ඩ් ඩයල් එකත් කප්පං සීන් එකකට මාට්ටු වෙලා හිරේ හිටියෙ. හවස හය වෙනකොට මට බයයි මූගෙන් බේරෙන්නෙ කොහොමද කියල හිතලම.
ප්‍රින්සිපල් කෙනෙක් ළමයෙක්ව රේප් කරලා ඒ කෙල්ල ඉස්කෝලෙ ඇරිල යන ගමන් කෝච්චියට පැනලා ලියුමකුත් ලියලම. අම්මට සිරිවෙන ඒ ප්‍රින්සිපල්ට හිරේ ඇතුළෙදි දුන්න පනිෂ්මන්ට් එක දැක්කම. දණගහගෙන ඇස් දෙක වහගෙන කටත් ඇරගෙන ඉඳපන් කියලා දහදෙනෙක් විතර උගේ ඔළුවට චූ කළා. දුලාගෙ පැත්තෙත් මේ වගේද දන්නෙ නෑ. අපරාදෙ කියන්න බෑ මීඩියාවලින් හොඳ කවරේජ් එකක් දීලා තිබුණා අපේ නඩුවට. සමහර එවුන්නං දාලා තිබුණේ මමයි දුලයි නිදාගෙන ඉන්නකොට සුරාජ් බොසා ඇවිත් ගේම ඉල්ලුව කියලා. මට හිරේ ඇතුළෙ එවුන් කියන්නෙ කොට්ටාවෙ සුදා කියලා. දැන්නං කට්ටිය ටික ටික ෆිට් වෙනවා.
මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නඩුව මහාධිකරණයට දාලා. නඩුව පළවෙනියටම අහන දවස අද. දුලා තවත් සුදු වෙලා. අපි දෙන්නා දැක්කේ ගොඩ දවසකින්නෙ. ඒත් කතා කරන්න බෑ. හිනාවෙන්නෙ ඇස්වලින්. හැම වෙලාවෙම මගේ දිහා බලාගෙන හිටියෙ.
“මං නිසා නේද මේ හැමදේම වුණේ” කියන්න වගේ, අයියා, නැන්දා, අක්ක සේරමත් ඇවිල්ල හිටියා. දුලාගෙ යාළුවො දෙන්නා අනුරාධා අක්කයි, දමිතා අක්කයිත් ඇවිල්ල. සුරාජ් බොසාගෙ පැත්තෙනුත් හයයි හතරේ සෙට් එකම ඇවිල්ලා මට ඔරව ඔරව හිටිය. හැම සාක්ෂියක්ම සලකා බලා මෙම මිනීමැරුම ආත්මාරාක්ෂාව මත සිදුකළ එකක් බවට ඔප්පු වුණා. මට අවුරුදු 20ක සිරදඬුවමක් වගේම දුලාට අවුරුදු අටක සිරදඬුවමක් ලැබුණා. නඩු තීන්දු දෙන වෙලාවේනං මගේ පපුව හිරවෙලා වගේ පුදුම තරං අමාරුවකින් හිටියෙ. මුළු උසාවියම මීයට පිම්බ වගේ. දැන් මට අවුරුදු විස්සක්. හිරෙන් එළියට එන්න වෙන්නෙ හතළිහෙදි. 138 බස් එක, ලුම්බිනිය, කොට්ටාව නයිට් ක්ලබ් ඩේ ඇඩ්වටයිසිං, මේ හැම දෙයක්ම තව අවුරුදු විස්සකින් වෙනස් වෙලා තියේවි. මට ආපහු දුලාව දකින්න ලැබෙන්නෙත් අවුරුදු අටකින්. ඒක තමයි ඉවසන්නම බැරි දේ. අවුරුදු අටක් ඒ මූණ නොදැක කොහොම ඉන්නද? දුලත් අඬනවා. ඔයාටත් ඇත්තෙ ඒ ප්‍රශ්නෙම තමයි. උසාවි ඉවර වෙලා කට්ටියම එළියට අරගෙන එනකොට මට දුලා ළඟට මුණගැහුණා.
“දුලා තව අවුරුදු අටකට මට ඔයාව දකින්න හම්බවෙන්නෙ නෑ. හොඳට මතක තියාගන්න. මම එදා වගේම හැමදාමත් ඔයට ආදරෙයි.”
දුලා මොකුත්ම කියන්නෙ නෑ.
“දුලා මොනවා හරි කියන්න. අපිට තව අවුරුදු අටකට කතා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ.”
“මොනවා කියන්නද නේෂාද? මම පොත්වල විතරයි ආදරේ ගැන කියවලා තිබුණේ. ඔයා මට ඊට වඩා දේවල් තේරුම් කළා.”
අපිට ඊට වඩා කතා කරන්න හම්බ වුණේ නෑ. දුලා වෙන බන්ධනාගාර බස් එකකත්, මම වෙන එකකත් නැඟලා ඉදිරි අවුරුදු විස්සෙ නවාතැනට යන්න පිටත් වුණා.
“කවුද ඒ උඹත් එක්ක මර්ඩර් එක දුන්න අනෙක් කෑල්ලද?”
“ඔව්. ඒ මගේ කෙල්ල.”
“ආයේ ඉතින් කතා දෙකක් නෑ. බඩු හම්බ වෙනවා ඇතුළෙදි.”
“ඒ කිව්වෙ.”
“ඒ කිව්වේ ලස්සන කෙල්ලෙක්ට නිකං ඉන්න හම්බ වෙන්නේ නෑ බං. වටේටම ආතල් දෙන්න වෙයි.”
මාත් එක්කම උසාවි ගියපු තවත් හිරකාරයෙක් මාව බය කරනවා. දැන් ඉතිං ජම්පර් ගහපංකො මමත්.
සීගිරි වොයිස් රෙකෝඩින් වොච් එකක් අරගෙන දුලාව බලන්න ගිහින් එයා කියන දේවල් මාව බලන්න ආවට පස්සේ අහන්න දෙනවා.
“මචං පක්ෂිගෙ තාත්තට කොරියාවෙ ජොබ්වලට දහදෙනෙක් දාන්න චාන්ස් එක හම්බවෙලා. මගෙනුත් ඇහුවා යන්න කැමැතිද කියලා. සිරාවටම උඹ මේ තත්ත්වෙ නොහිටියානං මම යනව බං.”
“ප්ලීස් මචං යන්න එපා. මම එහෙම කියන එක වැරැදියි තමයි. ඒ වුණාට....”
“මම ඒ අදහස හිතින් අස්කර ගත්ත. උඹ අවුලක් නැතිව හිටපං.”
“මේක ඇතුළෙ ඉද්දි පිස්සු හැදෙන්නෙ නැති එක නං පුදුමයි බං.”
“අර උඹෙන් ආතල් ගන්න ඇඟ උඩ නඟින්න හදන එකා තාමත් වාතෙ වෙනවද?”
“එක දවසක්නං මට බේරෙන්න බැරි වුණා බං. පට්ට අප්පිරියයි මතක් වෙද්දිත්. අම්මප බං මැරෙන්න හිතුන වාර ගාන අනන්තයි. ඒත් දුලා මතක් වෙනවා. රෑට මම හැමදාම අඬනවා බං. උඹලව, ගෙදර නැන්දලා, අපි ආතල් ගත්ත හැටි, මේ හැම දෙයක්ම නිතරම මතක් වෙනව බං.”
“මට උඹට හිත හැදෙන්නවත් කියල කියන්න ඕන මොනවද කියලා තේරෙන්නේ නෑ නේෂාදයො.”
“පුළුවන්නං මට වැඩක් කරල දියං.”
“මොකක්ද?”
“වතුර ලීටරේ බෝතලයක් අරගෙන සීල් කඩන්නෙ නැතිව බෝතලේ යටින් ඉන්ජෙක්සන් කට්ට්ටක් රත් කරල ඇනල වතුර ටික යවලා වයිට් අරක්කු පුරවල ගෙනත් දියංකො.”
“මටත් ඇතුළටම එන්න වෙයි වගේ. උඹ කරන වැඩවලින්.”
“ඇතුළෙ උන්ට බෝතලයක් දුන්නාම ගොඩාක් දේවල් කරගන්න පුළුවන්. ඒක නෙවෙයි සීගිරියෝ. මම දුලාට කවියක් හැදුවා. පුළුවන්නං ගිහින් දියං බලන්න යන වෙලාවක.”
සීගිරි වොච් එකේ රෙකෝඩිං ඔන් කරලා අත ඉස්සුව කාටවත් අපි ගැන පොඩ්ඩක්වත් සැක නෑ. අනෙක් හිරකාරයො බලන්න ආපු එවුනුත් උන්ගෙ කතාවල.
ලියමි කවිකර - මේ පාළු හවස
අපේ පෙම් ලොව - රසම රස රහස
සිරගතවයි පෙම්බරිය - ඒකයි මේ වෙනස
ඇයව සිහි වී - රිදෙයි පපු පෙදෙස
චුරු චුරුව ඉවර නෑ - වැටෙනවා වැස්ස
තත්පරෙන් තප්පරේ - ගෙවෙනවා දවස
ඇගේ රුව සිතින් හෝ - දකිනවා පිණිස
හිර කුටිය අසබඩට - හෙළනවා දිවැස
අවුරුදුම විස්සක් - ගෙවී එළැඹෙන දවස
අපි අපේම වී - නිවනවා පවස
ඒ දවස පතාගෙන - ඇගේ හිත් අහස
කප්පරක් දුක් විඳියි - ගනන් නොගෙනම වෙහෙස
“වෙලාව ඉවරයි එළියෙන් ආපු කට්ටිය කරුණාකරලා යන්න” ජේලර් පුරුදු සිංදුව දාන්න පටන් ගත්තා.
සුපුන් රත්නායක