ප්‍රේමවතීලාගේ
අම්මා
ඉස්සර වෙනවා....
අපේ සුපුරුදු “රිද්ම” විශේෂාංගය ‘චූටි කාලෙ වෙච්ච දේවල්’ තුළින් මේ සතියේත් අපි අපේ ජනප්‍රිය ගායකයෙකුගෙ චූටි කාලෙ ගැන තොරතුරු බිඳක් රැගෙන එන්නටයි මේ සූදානම් වන්නේ. ඔහු රොනී ලීච්. රොනීගෙ තාත්තා නෝමන් ලීච්. ඔහුගේ පියාගේ සීයා ස්විට්සර්ලන්ත ජාතිකයෙක්.
රොනීගේ අම්මා තෙරේසා ඉන්ච්. ඇගේ පියාගේ සීයා අයර්ලන්ත ජාතිකයෙක්. නමුත් නෝමන් සහ තෙරේසා යුවළ විවාහ වෙලා පදිංචි වෙලා හිටියේ දෙහිවල කවුඩානේ.
මේ දෙන්නට පුතුන් දෙදෙනෙක් හිටියා. ඔය අතරේ තමයි තුන්වැනි දරුවා මේ අයගෙ කැදැල්ලට එකතු වන්නට සූදානම් වුණේ. පුතුන් දෙදෙනෙක්ම ඉන්න හිංදා දුවෙක්ව තමයි මේ අය බලාපොරොත්තු වුණේ. මේ දෙදෙනාගේ විවාහ සංවත්සරය යෙදෙන්නේ ඔක්තෝබර් 19 දාට. හරියටම නෝමන් සහ තෙරේසාගේ හයවැනි විවාහ සංවත්සරය දා එනම් 1953-10-19 වැනිදා ගල්කිස්ස “Chesire Home” පෞද්ගලික රෝහලේදී තෙරේසා තුන්වැනි දරුවා බිහි කළා.
(අද වන විට මෙම පෞද්ගලික රෝහල නැහැ. එතැන තියෙන්නේ අසාමාන්‍ය දරුවන් සඳහා වූ ආයතනයක්) තුන්වැනියට දුවෙක් බලාගෙන සිටි මව්පියන්ට ලැබුණේ පුතෙක්. ඒ පුංචි පුතාට “රොනී ලූක් ලීච්” කියල නම තැබුවා. ඒ පුතා තමයි අද රොනී ලීච් නමින් රටම හඳුනන නළුවකු හා ගායකයෙකු වී සිටින්නේ.
“පුංචිම කාලෙ මම ශරීර ප්‍රමාණයට වඩා ලොකු ඔළුවක් තියෙන ළමයෙක්ලු. ඒ හිංදා අපේ සමහර ඥාති නැන්දලා “මංඩ පෙරෙට්ටන්” කියලලු මට විහිළු කරන්නේ. ඒ වගේම චූටි කාලෙ මම කිරි බොන්න හරිම අකමැති ළමයෙක්. මගෙ කැමතිම බිම කැඳ. බත්, එළවළු කිරි හැමදේම ප්‍රතික්ෂේප කරල අම්මගෙ කිරි බොන අතරේ කැඳ විතරලු මම බොන්නේ. හැබැයි ඉතින් මම කුසගින්නෙ නම් ඉන්නේ නැහැ. මම පුංචිම පුංචි වුණාට දවසට කැඳ බෝතල් දෙක තුනක්ම බොනවලු...”
ඒ යුගයේ දෙහිවල ප්‍රදේශය අද වගෙ නාගරීකරණය වී නැති බව තමයි රොනී කියන්නේ. ඒ කාලෙ මුළු පරිසරයම ලස්සන ගම් පියසක්ලු.
“අත්තිඩිය වෙල එක දිගට තිබුණා. අද ඒක නැහැ. එතැන තියෙන්නෙ ගොඩනැගිලි. ගෙදරදී ඉංග්‍රීසි කතා කළාට අපි වටාපිටාවේ හැමෝමත් එක්ක කතා කළේ සිංහලෙන්. ඒ කාලෙ තාප්ප බැඳල ගෙවල් වෙන් කරගෙන තිබුණේ නැහැ. අපි වටා පිටාවේ ළමයි එක්ක හිතේ හැටියට සෙල්ලම් කරල නිදහසේ ජීවත් වුණා.
ඔය කාලේ රොනීලගෙ ගෙවල් අද්දර තට්ට හිසක් තියෙන මහළු මිනිසෙක් ඉඳල තියෙනවා. කව්රු හෝ කෙනෙක් මෙයාට “හඳ” කිවුවොත් මේ මනුස්සයට හොඳටෝම කේන්ති යනවලු. මේ හිංදම තරුණ ගැටව් වගේම සමහර වැඩිහිටියොත් මෙයාව දැක්කම “හඳ” කියනවලු. ඒ වෙලාවට මේ පුද්ගලයා පිළිතුරු දෙන්නේ අහගෙන ඉන්න බැරි තරම් තිත්ත වදනින්ලු. මේක හැමෝටම හොඳ විනෝදයක්. හැබැයි ඉතින් සිඟිති රොනීගේ වයසේ පුංචි දරුවන්ට නම් මේ වගෙ තැන්වලට වත් යාමට වැඩිහිටියන්ගෙ තහංචි එල්ල වෙනවා. ඊට හේතුව ඒ පුංචි දරුවෝ ඒ වචන ඉගෙන ගනීවි කියන බයට.
එක දවසක් මම ළඟ ගෙදර ළමයෙක් එක්ක මිදුලෙ සෙල්ලම් කර කර හිටියා. ඔය වෙලාවේ අපි අතර පුංචි ගැටුමක් ඇතිවුණා. මට කේන්ති ගිහින් මගෙ කටින් පිටවුණේ ‘හොඳටම හොඳ වචන ටිකක්’ ඒක අපේ අම්මට ඇහිලා මගේ කටේ මිරිස් කරලක් ඇතිල්ලුවා....”
රොනී මහ හයියෙන් හිනාවෙලා චූටි කාලේ වෙච්ච අපූරු සිදුවීමක් මතක් කළා. රොනී චූටි කාලේ බොහොම කෙළිලොල් දරුවෙක් වුණත් ඉඳහිටලා මේ වගේ දඟවැඩ කරනවලු. ඒ විදියට තමන්ගෙ ගෙදර ජනේල පවා කඩා දමපු සිදුවීමක් ගැන රොනී සිහිපත් කළා. ඒ තරම් කෝපයක් ඇති වන්නට බලපෑ හේතුව මෙන්න මේකයි.
“අපේ ගෙවල් පැත්තේ හිටිය මගේ සම වයසේ ගෑනු ළමයෙක්. එයාගෙ නම ප්‍රේමවතී. ඒ ළමයගෙ අම්මා මට හරි ආදරෙයි. කොහේ හරි යද්දී මාවත් එකතු කරගෙන යනවා. දවසක් මමයි ප්‍රේමවතියි එයාගෙ අම්මයි ගමනක් යනවා. ප්‍රේමවතීලාගේ අම්මා ඉස්සර වෙලා යනවා.
මමයි ප්‍රේමවතියි අත් අල්ලාගෙන එයාගෙ පිටි පස්සෙ යනවා... මේ දවස්වල අපේ ගෙදර බෝඩිං වෙලා හිටියා තරුණ වයසේ කෙනෙක්. එයාගෙ නම උපාලි. එයාගේ වැඩේ මට විහිළු කරලා මාව කෝප ගන්වන එක. මමයි ප්‍රේමවතියි අත් අල්ලාගෙන පාරේ යන හැටි මේ මනුස්සයා දැක්කා. එයා ගෙදර ඇවිත් හැමෝටම ඒක කියලා . හැමෝම මට විහිළු කරන්න පටන් ගත්තා. ඒ විහිළු වට නම් මට ඉවසුම් නැතිව යනවා.”
මේ කාලයේ තමයි “හදිසි විවාහය” චිත්‍රපටය තිරගත වුණේ. ඒකේ තියන ගීතයක් තමයි රොනීව කෝප ගන්වන්න කට්ටිය උපයෝගි කරගෙන තියෙන්නේ.
ඕ...... හෝ..... හෝ...... ගෑනු රත්තරං
සීදේවි වගේ කෙල්ල
අපරාදෙ මෝඩ කෙල්ල.....
රොනියි ප්‍රේමවතියි අත් අල්ලාගෙන ගියපු සිද්ධියට සම්බන්ධ කරල ඔය ගීතය කියද්දී තමයි රොනීට කේන්ති යන්නේ. මේ කෝපය කොයි තරම්ද කියනවා නම් කව්රු හෝ කෙනෙක් අර ගීතයේ පද දෙකක් මිමිනුවත් රොනීට හොඳටම කේන්ති යනවලු. මේ විදියේ අවස්ථා තමයි රොනී තමන්ගෙ ගෙදර ජනේල වීදුරු පවා කුඩු පට්ටම් කරලා තියෙන්නේ.
ආරියවංශ කුලතිලක