Tuesday

කොහොමද මගේ ෆිගර් මේන්ටේනිං?

http://www.cineindia.net/mega/Shilpa/016.jpg මැයි කියන්නේ නැකැත් වැහි වැහැපු මාසයක්නෙ. ඒ නිසා වෙඩින්වලට ගිහිල්ලත් ඉවරයක් නෑ. පසුගිය දවසක අපේ යාළුවෙක්ගෙ වෙඩින් එකක් තිබුණා. යාළුව කෙල්ලෙක්. වෙඩින් එක තිබුණෙ එක දවසයි වුණත් අපේ යාළුවා අවුරුද්දක විතර ඉඳලා ඒකට ලෑස්ති වුණා.

කැම්පස් යන කාලෙ සවරින් බාර් හරි, අතට අහුවෙන සබන් කෑල්ලක් ගාලා මූණ හෝදපු එයා මෙන්න එක පාරටම ෆේස් වොෂ් වර්ග ගැන කතා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ෆේෂල් කරන්න පටන් ගත්තා. මුලින් මුලින් මාසෙකට සැරයක් ෆේෂල් කරපු එයා පස්සෙ පස්සෙ සති දෙකකට සැරයක් විතර ෆේෂල් කරන්න පටන් ගත්තා.


ඉස්සර කැම්පස් එ
කේදී ලෙක්චර්ස් වෙලාවට කටින් හපලා නියපොතු කඩලා දාපු එයා, වෙඩින් එක ළං වෙනකොට පෙඩිකි්‍යු මෙනිකි්‍යු කරන්නත් පටන් ගත්තා. ඒ විතරක්ද ජීවිතේට අත් කකුල්වල රෝම ගලවල නැති එයාම මෙන්න වැක්ස් කරන්නත් පටන් ගත්තා.

හොඳම කතාව ඒක නෙවෙයි. කැම්පස් එකේදී ඉවක් බවක් නැතුව ඔහේ අතට අහුවෙන හැමදේම ගිලපු එයා මෙන්න ඩයට් කරනවා. ඒකෙනුත් ඉතින් වාසිය අපිට. මොකද ඕවගෙ ෂුගර්, මේවගෙ ෆැට් එක වගේ දේවල් කිය කිය එයා අයින් කරන කෑම ඔක්කොම අපිට. කොහොම හරි ලස්සනට මහතට ජම්බෝලෙ වගේ හිටපු අපේ යාළුවා වෙඩින් එක කිට්ටු වෙද්දී නිකන් සෝමාලියාවෙන් ඇවිල්ලා වගේ වැහැරිලා ගියා. ‘කොහොමද මගේ ෆිගර් මේන්ටේනින්?’ කියලා රවුමක් කැරකිලා අපි ඉස්සරහා එයා හිටගන්න කොට දුකේ බෑ. ඒත් ඉතින් එයා කෙට්ටු වෙච්ච එක ගැන ආඩම්බරයෙන් ඉද්දී ‘ෂා මාරයි’ වගේ දෙයක් හැර වෙන මොකුත් කියන්නත් බැහැනෙ. 


අපිත් ඉතින් එහෙමම කිව්වා. මාසෙකට කලින් වෙඩින් ජැකට් මහපු නිසා දෙතුන් වතාවක් ආයෙත් මිම්ම අරන් ඒවගෙ සයිස් එක පොඩි කරන්නත් සිද්ධ වුණා. අපි බයේ සිටියේ මේ කෙට්ටුවිල්ලට එයා පෝරුව උඩ පැයක් විතර හිටගෙන ඉද්දී ක්ලාන්තෙ දාලා වැටෙයිද කියලා. පෝරුව උඩ වැටුණෙ නැති වුණත් හවස් වෙද්දී ඇවිදගන්න බැරි තරමට මහන්සියෙන් ඉන්න බව නම් වෙඩින් එකට ආපු හැමෝටම තේරුණා. බැඳලා එක්ක ගියා වුණාට දැන් එයාගෙ හස්බන්ඩ් එයාට මන්දපෝෂණයට බෙහෙත් අරන් දෙනවද කියල නම් අපි දන්නෙ නැහැ.

මීට අවුරුදු තුනකට විතර කලින් කසාද බැඳපු අපේ තවත් යාළුවෙක් ඉන්නවා. එයාට අවුරුදු දෙකක විතර බබෙකුත් ඉන්නවා. නමුත් එයාට තියෙන්නෙ මීට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රශ්නයක්. ඒ තමයි මහත්වෙන එක. මුල් කාලෙ කෙට්ටුවට හිටපු එයා පස්සෙ පස්සෙ ටික ටික මහත් වෙන්න පටන් ගත්තා. දැන් කිලෝ අනූවක්ලු. ළඟදී දවසක අපි එයාලගෙ ගෙදර ගියා. යාළුවා පේන්න හිටියෙ නැහැ.



ඒත් ඒ වයසෙම වගේ ලස්සන ෆිගර් එකක් තිබුණු කිලුටු ගවුමක් ඇඳගත්තු ගෑනු ළමයෙක් අපේ යාළුවගෙ බබාව වඩාගෙන හිටියා. විනාඩියක් යන්න කලින් මෙන්න එනවා අපේ යාළුවා දාඩිය දාගෙන. ‘ඇයි මේ දාඩිය දාගෙන’ කියලා අපි අහන්නත් කලින්ම ‘මම මේ ඇරබික්ස් කර කර ඉඳලා ආවෙ‘ කියලා එයාම කිව්වා. ඇරබික්ස් කරනවා කියන්නෙ මේ අරාබි ලැංවේජ් එක ඉගෙන ගන්නවා කියනෙක නෙවෙයි. තාලයකට අනුව එක්සසයිස් කරනවා කියන එක.

කොහොම හරි ඉතින් කතා ඕපදූප එහෙම ඇදබෑවට පස්සේ ‘කවුද අර බබා වඩාගෙන ඉන්න කෙනා?’ කියලා අපි ඇහුවා. ‘ඒ අපේ සර්වන්ට් ගර්ල්. ගර්ල් කිව්වට ළමයි දෙන්නෙක්ම ඉන්නවා’ කියලා එයා කිව්වා. ඊට පස්සෙ පටන් ගත්තෙ සර්වන්ට් ගර්ල් වර්ණනාව. ‘එයා තමයි අනේ ගෙදර වැඩ ඔක්කොම කරන්නෙ. උදේම ඇවිල්ලා උයලාපිහලා, ගේ අස්කරලා අතුගාලා, මිදුලත් අතුගාලා බබාව බලා ගන්නවා. මම නැඟිටිනකන් ඉඳලා කෑම ටිකකුත් අරගෙන එයා ගෙදර යනවා. ආයෙත් හවසට ඇවිල්ලා මම ජිම් ගිහින් එනකන් බබා එක්ක ඉන්නවා.

 
මම ආවම රෑටත් උයලා තියලා ගෙදර යනවා. හරිම කඩිසරයි.’ කියලා කිව්වා. ඒ වෙලාවෙ මට නම් කල්පනා වුණේ එකම දෙයයි. ‘දරුවො දෙන්නෙක් ඉන්න කඩිසර අම්මා කෙනෙක් කිසිම අවුලක් නැතිව ෆිගර් එක ලස්සනට තියාගෙන ඉන්න හැටි’ කියලා විතරයි. සර්වන්ට් ගර්ල් කරන වැඩ ටික අපේ යාළුවා කළා නම් ජිම් ගාණේ රස්තියාදු වෙන්නවත්, ඇරබික්ස් කියලා ආගිය අතේ නටන්නවත් ඕනෙ නැහැනෙ කියලා ආපහු එන ගමන් අපි කතා වුණා.

මහත යාළුවගෙ කතාව තාම ඉවර නැහැ. ඕන්න තවත් මාස දෙකකට විතර පස්සේ වෙන ගමනක් යන ගමන් අපි අර මහත යාළුවා දැක බලාගෙනම යනවා කියලා හිතාගෙන ගියා. මාස දෙකකට කලින් මාර ලස්සනට තිබුණු ගේ නිකන් මළ පෙරේත ගුහාවක් වගේ වෙලා තිබුණා. මිදුල මාසෙකින් විතර අතුගාලා නෑ. බැරි වෙලාවත් තණකොළ කියන්නෙ උසට වැවෙන ගස් ජාතියක් වුණා නම් ඒ ගේ පේන්නෙ නැති තරමට උඩට වැවෙනවා. ඒ තරමටම ජරාවාස වෙලා. අපි හිතුවෙ දැන් ඒ ගෙදර කවුරුවත් පදිංචි නැතිව ඇති කියලා. ඒත් නිකමට වගේ බෙල් එක ගැහුවාම අපේ යාළුවා එළියට ආවා. මූණ ටිකක් මහන්සි පාට වුණත් මහ විශාල ඇඟ නම් දෙයියන්ගෙ පිහිටෙන් එහෙමම තිබුණා. ‘මොකද මේ’ හැඩිවෙලා තියන මිදුලට අත දික් කරලා අපි ඇහුවා. ‘අපේ සර්වන්ට් ගර්ල්ගෙ අම්මා අසනීප වෙලා කියලා එයා නැවතුණා අනේ. දැන් මටයි ඔක්කොම කරන්න වෙලා තියෙන්නෙ. උදේ නැඟිටල බබාගෙ වැඩ කරලා ඉවර වෙද්දි හවස් වෙලා. ගෙවල් මිදුල් අස්කරනවා තියා උයන්නවත් වෙලාවක් නෑ. ගොඩක් වෙලාවට දැන් අපි කන්නෙ කඩෙන්’ දුකෙන් වගේ එයා කියාගෙන කියාගෙන ගියා.

‘දැන් ජිම් යන්නෙත් නැතිව ඇති එහෙනම්?’ අපි ඇහුවා. ‘ඒක නේන්නම් අනේ. මම ගාණට ෆිගර් එක මේන්ටේන් කරගෙන ආවා. ඒකත් නැති වුණා. ගෙවල් මිදුල් ගැන නෙවෙයි මට තියෙන දුක. ආයෙත් මහත් වෙන්න පටන් අරන් තියෙන එක ගැන’ එයා කිව්වා. අනේ අපොයි නොකියා අපි මාර අමාරුවෙන් කට තද කරගෙන හිටියා. ඉදල අතට ගත්ත නම් ජිම් එකේදී කරන එක්සසයිස් ටික ඊටත් වඩා හොඳට කෙරෙනවා. උදැල්ලයි විසිකැත්තයි අතට ගත්තා නම් ඇරබික්ස් කැලේ. ඒත් ඉතින් මිදුල අතුගෑවා කියලා කලම්බු සෙවන් සොසයිටි එකට සෙට් වෙන්න බැහැනෙ. ඒ නිසා ජිම් යන්නම ඕනෙ. ලංකාවෙ ජිම් ගිහිල්ල ඇඟ බස්සගත්ත කෙල්ලො ඉන්නව නම් ඒ දාහට එකක් විතර වෙන්න ඇති. ගොඩක් අය ජිම් ගියා කියලා කිසිම වෙනසක් වෙන්නෙ නැහැ. හැබැයි ජිම් යෑම නවත්තපු ගමන් හිටිය වගේ තුන් ගුණයක් විතර වෙනවා. ඊට පස්සෙ ජිම් එකේ ට්‍රේනර් විතරක් නෙවෙයි එයාගෙ අම්මත් බැනුම් අහනවා.

තවත් සමහර අය ජිම් යන්නෙ නැහැ. හැබැයි ජිම් එකේ තියෙන යකඩ පට්ටල් ටික දාස් ගණනක් දීලා ගෙදර ගේනවා. සතියක් දෙකක් යනකන් ඒ යකඩ පට්ටල් උඩින් බහින්නෙ නෑ. හැබැයි මාස දෙකක් විතර යද්දි වැඩේ එපා වෙනවා. ඊට පස්සෙ කරන්නෙ ඒවා උඩ රෙදි වේළෙන්න දාන එක. කෙට්ටු වෙන්න හිතාගෙන යකඩ පට්ටල් ගෙවල්වලට ගෙනාපු කීදෙනෙක් ඇත්තටම කෙට්ටු වුණාද කියලා කල්පනා කරලා බලන්න. ඒ නිසා කරන්න තියෙන හොඳම වැඩේ තමයි යකඩ පට්ටල් හොයාගෙන ජිම් ගාණේ යන්නෙත් නැතිව, යකඩ පට්ටල් ගෙදර ගේන්නෙත් නැතිව, ජිම් එකේ කරන දේවල් ඊටත් වඩා හොඳින් ඉදලෙන්, කොස්සෙන්, උදැල්ලෙන්, විසි කැත්තෙන් කරන එක. එතකොට ෆිගර් එකත් මේන්ටේන් වෙනවා. ගෙදරත් ලස්සන වෙනවා. නෝනත් ලස්සනයි ගේත් ලස්සනයි. එකම එක මාසයක් ට්‍රයි කරලා බලන්න.

මේ ආටිකල් සීරිස් එකෙන් සමාජයේ එක කොටසට ගහනවා කියලා මට පොඩි චෝදනාවක් තියෙනවා. චෝදනාව තියෙන්නෙත් කලම්බු සෙවන් වෙන්න ට්‍රයි කරන අයගෙන්. කියන දේ හරි නම් ඒක ගැහිල්ලක් වෙන්නෙ කොහොමද කියලා මට තේරුම් ගන්නම බෑ. කොහොම වුණත් මේවා වදින්නෙ කලම්බු සෙවන් ලෙවල් එකෙන් ඉන්න හදන අයට. නැතිව පොළොවේ පය ගහපු අයට නෙවෙයි. ඔහේ පාවෙල යන තොප්පි ඇදල අරන් දාගන්නෙ නැතිව, ඒ වගේ අය මේ කියපු දේ ගැන ටිකක් කල්පනා කරලා බැලුව නම් සමහර විට මොළේ පෑදෙන්නත් ඉඩ තියෙනවා. ට්‍රයි කරලා බලන්න මොළේ පාදගන්න පුළුවන් වෙයිද කියලා. එහෙම වුණු දවසට හිත සැහැල්ලු වෙයි. එතකොට ඔය බර ඇඟත් සැහැල්ලු වෙයි.

දුලංජලී මුතුවාඩිගේ